Latest News Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව තරුණ ප්‍රජාව බලගන්වයි

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගන්වමින්, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙන ප්‍රධාන පෙළේ සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගිදා ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව දීප ව්‍යාප්ත තරුණ ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්  ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා උනන්දුවෙන් පසුවන තරුණ පිරිස් වෙත නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදෙමින් අනාගත වෘත්තීය අභියෝග වෙනුවෙන් සුදානම් කිරීමයි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගනිමින් 350 කට අධික සිසුන් ප්‍රමාණයක් වෙනුවෙන් ආරම්භ කරන මෙම වැඩසටහන පසුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකා තුළ පවතින රැකියා අවස්ථා අවබෝධ කරගනිමින් නිවැරදි වෘත්තීය ක්ෂේත්‍ර සඳහා තරුණ පිරිස් යොමුකිරීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව තුළ විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ දැනුම ලබාගැනීමට ද අවස්ථාව ලබාදීම සුවිශේෂි කරුණකි. වැඩමුළු මාලාවෙන් පසුව තෝරාගත් සිසුන් කිහිපදෙනෙකුට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) මාස 06 විකුණුම් හා අලෙවිකරණ පාඨමාලාවකට ඇතුළත්වීමේ අවස්ථාව හිමි වනු ඇත. මෙයට දේශන මෙන්ම ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් ද අන්තර්ගතය. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් පාඨමාලා ගාස්තුවෙන් කොටසකට සිය දායකත්වය ලබාදෙන අතර ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් සඳහා යොමුකිරීමේ ක්‍රියාවලියට ද සක්‍රීය දායකත්වය ලබාදෙයි.

යුනිලිවර් හින්දුස්ථාන් සමාගමේ විධායක අධ්‍යක්ෂිකා අනුරාධා රස්දාන් මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. අපගේ මූලික අරමුණ සැමට ජිවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කරමින් 2023 වනවිට ලොව පුරා සිටින මිලියන 10 පමණ වන තරුණ තරුණියන්ගේ නිපුණතා වර්ධනය කිරීම හා සේවා නියුක්තිය ඉහළ නැංවීම හරහා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. උසස් අධ්‍යාපනයෙන් පසු, රැකියා විරහිත තරුණ ප්‍රජාව මෙන්ම ආර්ථික ගැටලු නිසා රැකියා අවස්ථා මඟහැරී සිටින තරුණ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා. රාජ්‍ය අංශයට හෝ පෞද්ගලික අංශයට මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම තනිව කළ නොහැකි බැවින් තරුණ ප්‍රජාව නඟාසිටුවීමට සියලුදෙනාගේම සහයෝගීතාව ඉතා වැදගත්”

යුනිලිවර් ශ්‍රී ලංකා හි මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වාල්  මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙලෙස අදහස් දක්වන ලදී. “යුනිලිවර් ශ්‍රී ලංකා අපගේ මූලික අරමුණ නම් 2025 වනවිට 100,000 පමණ තරුණ ප්‍රජාව වෙනුවෙන් නව අවස්ථා වර්ධනය කිරීමයි. ULearn වැනි රැකියා ආකෘතීන් හරහා රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ශක්තිමත් වැඩසටහන් අප සතුව තිබෙනවා. එහිදී සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙන ආකාරය වැනි සෑබැ වෘත්තීය ජිවිතයේ කුසලතා වලට පුහුණුවීමට අපි අවස්ථාව ලබාදෙනවා. මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබාදීමට හැකිවීම ගැන බෙහෙවින් ආඩම්බරයට පත්වන අතර, යෞවන කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව, මෙරට පාසැල් අධ්‍යාපනය අවසන් කළ දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම හරහා යුනිලිවර් සමාගම මෙන්ම ශ්‍රී ලංකාව ද ජයග්‍රහණයේ මාවත කරා යොමුකිරීමේ සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම අපගේ අරමුණයි.

යුනිලිවර් ශ්‍රී ලංකා හි  සභාපතිනී හා කළමනාකාර  අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. අපි වසර 85 ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ මුල් බැස ගෙන ඇති අතර අපගේ වෙළඳ නාමවල අනාගතය රැඳි ඇත්තේ තරුණ ප්‍රජාව තුළයි. අර්බුදකාරී තත්ත්වයක් යටතේ, ආයතනයක් වශයෙන් ජාතිය වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීම අපගේ ප්‍රථම වගකීම බව යුනිලිවර් ශ්‍රී ලංකාහි අපි විශ්වාස කරන්නෙමු. එබැවින් අපි කර්මාන්තශාලා සඳහා ආයෝජනය කර ඇති අතර මෙම හවුල්කාරිත්වය තුළින් අපගේ තරුණ පරපුර නඟා සිටුවීමට ද කටයුතු කරනවා”

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී. “අපේ රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් නව පියවරක් තැබූ ජාතික තරුණ සේවා සභාවට සහ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට මගේ හදපිරි ස්තුතියි පුදකරනවා.යුනිලිවර් සමාගම ලෝකයේ බෝහෝ රටවල ස්ථාවර වෙමින් ලබාගත් ඉගෙනීම් හා භාවිතයන්  අපේ තරුණ තරුණියන්ට විශාල පන්නරයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙරට බහුතරයක් තරුණ පිරිස වෙනුවෙන් නිවැරදි මාර්ගෝපදේශනය හරහා දීප්තිමත් අනාගතයක් නිර්මාණයට මඟපාදන මෙවැනි වැඩසටහන් තව තවත් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය දායකත්වය අපි නිරතුරුවම ලබාදෙනවා.”

ජාතික තරුණ සේවා සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් පසිඳු ගුණරත්න මහතාමෙසේ සිය අදහස් දැක්වීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සහයෝගයෙන් “තාරුණ්‍යට අරුතක්” වැඩසටහන ආරම්භ කිරීම ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා. පුහුණු වැඩසටහන් හා තාක්ෂණික භාවිතයන් සමඟ තරුණ පරපුර සවිබලගැන්වීම තුළින් කුසලතා සහිත පරම්පරාවක් නිර්මාණය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අපගේ තරුණ තරුණියන්ගේ හැකියාවන් පිළිබඳ දක්වන නොසැලෙන සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන් හදපිරි ස්තුතියි පුදකරනවා.

ජායාරූප සිරස්තලය

පිළිවෙලින් වමේ සිට දකුණට

ජාතික තරුණ සේවා සභාවේ පුහුණු අධ්‍යක්ෂක රෂිත දෙලපොල, ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන අධ්‍යක්ෂක මනුල පෙරේරා, ජාතික තරුණ සේවා සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් පසිඳු ගුණරත්න, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ, යුනිලිවර් හින්දුස්ථාන් සමාගමේ විධායක අධ්‍යක්ෂිකා අනුරාධා රස්දාන්, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂක භාතිය දයාරත්න, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වාල්,  යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ  සභාපතිනී හා කළමනාකාර  අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි යන මහත්ම මහත්මින් ජායාරූපයේ පෙනී සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *