Latest News Sinhala

තිරසර රථ වාහන විද්‍යුත්කරණය සඳහා CMTA විසින් රජයට යෝජනා ඉදිරිපත් කරයි

ආසියානු කලාපයේ ජ්‍යේෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන   සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සංචලතාවයේ අනාගතය නියෝජනය කරන විද්‍යුත් රථ වාහන (Electric Vehicles – EVs) පිළිබඳ රජයේ දැක්ම වෙනුවෙන් සිය අභිමත‍ය පළ කරයි. විමෝචනය අඩු කිරීමේ සහ ඉන්ධන ඉතිරි කිරීම අතින් විද්‍යුත් රථ වාහන වාසිදායක බව ඉතා පැහැදිලියි.  නමුත් අභ්‍යන්තර දහන එන්ජින්වලින්  විද්‍යුත් රථ වාහන වෙත මාරු වීම එනම් විද්‍යුත්කරණය පිළිබඳව  CMTA අනතුරු අගවයි. එනම් මෙම  විද්‍යුත්කරණය රජය, පාරිභෝගිකයන් සහ කර්මාන්තයේ යහපත වෙනුවෙන් විධිමත් සැලසුමකින් සහ  විධිමත් තීන්දු තීරණ ගැනීමකින් සිදු කළ යුතුය බව CMTA දක්වයි.

ජාත්‍යන්තර විද්‍යුත් වාහන නිෂ්පාදකයන්ට ප්‍රවේශය ඇති, ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම සංගමය වශයෙන් CMTA විද්‍යුත් රථ වාහන නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති දැයි පිළිබඳව සිය අවධානය යොමු කරන ලදි. මේ සම්බන්ධව ගෝලීය නිෂ්පාදකයන්ගේ උපදෙස්  අනුව යමින්, CMTA  විසින් KPMG  ආයතනය සමඟ විද්‍යුත් රථ වාහනවල තිරසර හඳුන්වා දීම ඇතුළු විවිධ කාරණා  පිළිබඳව ආවරණය කරමින්  සවිස්තරාත්මක රථ වාහන කර්මාන්ත මාර්ග සිතියමක් එළි දැක්වීමට තීරණය කරන ලදි. මෙම මාර්ග සිතියම මෝටර් රථ කර්මාන්තය පිළිබඳ විශේෂඥ උපදෙස් සඳහා  රජයේ බලධාරීන් වෙත ඉදිරිපත් කෙරේ.

ගෝලීය විද්‍යුත් රථ වාහන නිෂ්පාදකයන්ගේ  නිර්දේශයන්ට අනුව CMTA විසින් නීති සම්පාදකයන් වෙත  කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඉන් පළමුවැන්න නම් ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) සහ විද්‍යුත් රථ වාහනවල ක්ෂමතාව / බලය කළමණාකරණ පද්ධති දේශීය තත්වයන්ට යෝග්‍ය විය යුතුය යන්නයි. මේවා අධි සංවේදී බැවින් මාර්ගවල ස්වභාවය සහ දේශගුණය වැනි රටෙහි සුවිශේෂී තත්වයන්ට අනුකූල වන ලෙසින්  නිෂ්පාදකයා විසින් නිර්මාණය කළ යුතු වේ. තව ද, නඩත්තු වියදම්වලින්  පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහාත්, දෝෂ සහිත බැටරි සහ ඒ ආශ්‍රිත කොටස් නැවත ගෙන්වීම සඳහා විදේශ විනිමය ගලායාම  නැවැත්වීමටත්  නිෂ්පාදකයාගේ අවම වගකීම,  මගී ප්‍රවාහන රථවල  HV බැටරි වෙනුවෙන්  අවම වශයෙන් අවුරුදු 05ක  කාලයක් ද, මෝටර් බයිසිකල් සහ ත්‍රී රෝද රථ සඳහා වසර 03ක කාලයක් ද  අවශ්‍ය වේ. මීට අමතරව අනතුරුදායක තත්වයක පවතින වාහන /  HV බැටරි හැසිරවීම සඳහා ආරක්ෂක උපකරණ, ඒවා අළුත්වැඩියා කිරීම සඳහා පුහුණුව, මෝටර් රථ /HV බැටරි නිරෝධනය සඳහා වෙන් කරන ස්ථාන ඇතුළු යටිතල පහසුකම් ගෝලීය වශයෙන් පිළිගත් ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට  විද්‍යුත්  වාහන අළුත්වැඩියා  කරන්නන් හට හැකි විය යුතුය. නිදසුනක් ලෙස වාහන අනතුරකින් පසු මෙම ගෝලීය ප්‍රමිතීන්ට අනුව යමින් වාහන අළුත්වැඩියා  කිරීමේ හැකියාව සහ උපකරණ ඔවුන් සතු විය යුතුය.

විද්‍යුත්කරණයට තිරසර මඟක්  ප්‍රවර්ධනය කරමින් මෙම HV බැටරි සහ අනෙකුත් උපාංගවල ජීව කාලය ඉක්ම ගිය පසු ඒවා නිසි පරිදි බැහැර කිරීමට නීතිමය රාමුවක් පිහිටුවන ලෙස CMTA රජය වෙත කරුණු දක්වා සිටියි. මේවා නිසි ලෙස බැහැර නොකිරීමෙන් පරිසරයට සහ භූගත ජලයට මහත් අනතුරුදායක විය හැකි මෙන් ම මහජන සෞඛ්‍යය කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරනු ඇත.  ගුණාත්මක බවින් අඩු බැටරි ආනයනය වැළැක්වීම සඳහා HV බැටරි ආනයනයේ අවම තාක්‍ෂණික ප්‍රමිතීන්ගේ අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදි. ​තාක්‍ෂණික ප්‍රවීණත්වයෙන් යුත් විදේශීය සමාගම් සමඟ හවුල් ව්‍යාපාර සිදු කිරීම  තුළින් සංකීර්ණ HV බැටරි ප්‍රතිචක්‍රීකරණයත්, රට තුළ ඊට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමටත් දිරි ගැන්විය යුතුය.

මහා පරිමාණ විද්‍යුත්කරණයක සාර්ථකත්වයට මහජන යටිතල පහසුකම් ද හේතු සාධක වේ. විද්‍යුත් වාහන හිමියන්ගේ පූර්ණ මානසික  නිදහස සැලසීම හා දිගු ගමන් යාමට හැකියාව ලබා දීම වෙනුවෙන්  ඉක්මනින් ආරෝපණය කළ හැකි (fast-charging network) පොදු ජාලයක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කීර්තිමත් ගෝලීය නිෂ්පාදකයින් අවධාරණය කරයි. විද්‍යුත් රථ වාහන  අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය පුහුණු මානව සම්පත් සහ පහසුකම් අනුව,  අනාගත විද්‍යුත් වාහන අළුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සපුරාලිය හැකි නිසි  පුහුණුව හා සහතික ලත් EV තාක්ෂණිකයන්ගේ සංචිතයක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනවල විෂය මාලාව ඉහළ නැංවීම අනිවාර්යය වේ.  

විද්‍යුත් වාහන පිළිබඳ මෙම කාලීන මාතෘකාව සම්බන්ධයෙන් CMTA සභාපති, යසේන්ද්‍ර අමරසිංහ මහතා, “ශ්‍රී ලංකාව වැනි රටක වාහන විද්‍යුත්කරණය ක්‍රියාත්මක කිරීම තුළින් විවිධත්වයෙන් යුත් නවීන විද්‍යුත් වාහන මෙරට අනාගතය  සංවර්ධනය උදෙසා සුබ දායක බලපෑම් ඇති කරනවා. විද්‍යුත්කරණය යනු අනාගතය බවට කිසිදු සැකයක් නැහැ.   අනාගත විද්‍යුත්කරණය නුසුදුසු ලෙසින් සිදු වීමෙන් පාරිභෝගිකයාටත්, කර්මාන්තයටත්, පරිසරයටත් හානි ගෙන ඒමට හැකි බැවින් තිරසර විද්‍යුත්කරණයක්  නිර්මාණය කිරීම වෙනුවෙන් නිළධාරීන් විසින් අවශ්‍ය පියවරයන් ගනු  දැකීමට අපි කැමතියි.” යනුවෙන්  අදහස් දක්වා සිටියේය.

වාහන විද්‍යුත්කරණය පිළිබඳව සමබර හා දැනුවත් තීරණයක් ගැනීමේදී CMTA පෙන්වා දෙන්නේ මගී ප්‍රවාහන රථ වාහන විද්‍යුත්  බවට මාරු කළ ද, වාණිජ වාහනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන පරිභෝජනය කරන බැවින් පොසිල ඉන්ධන මඟින් වාණිජ වාහන ගමන් කළ හොත් වාහන ඉන්ධන ආනයනයට අපේක්‍ෂිත බලපෑමක් ඇති නොවන බව නීති සම්පාදකයන් දැනුවත් විය යුතු බවයි.

එසේම, වසර කිහිපයක් තිස්සේ ඉතුරු කළ යුතු   ඉන්ධන පරිභෝජනය සහ නඩත්තු පිරිවැය නිසා පමණක් පියවා ගත හැකි විද්‍යුත් වාහන මාදිලියක ආනයන පිරිවැය එහි පොසිල ඉන්ධන මාදිලිවලට වඩා 20-30% වැඩි බවට බලධාරීන් සැලකිළිමත් විය යුතුය.

CMTA නිර්දේශයන්ට එරෙහිව යමින් සහ වැඩි දුර නොසිතා ඉතා අවම ආනයන බද්දකින්  2015 වසරේ දී  ශ්‍රී ලාංකික වෙළඳ පොළට විද්‍යුත් රථ වාහන හඳුන්වා දෙන ලදි. එහි අනිසි ප්‍රතිඵලය වූයේ භාවිතා කළ විද්‍යුත් වාහන මෙරටට පැමිණීමෙන්  විද්‍යුත් වාහන හිමියන්  5000කට ආසන්න ප්‍රමාණයක් අපහසුතාවට පත් වීමයි. වෙළෙඳපොළ වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට තම වාහන අලෙවි කිරීම හෝ පෙට්‍රල් එන්ජින් බවට පත් කර සහ නීති විරෝධී  ලෙස ඒවා ලියාපදිංචි කිරීම හෝ අසාර්ථක  බැටරි සමග  කිලෝ මීටර 40-60 පරාසයක් සහිතව ඒවා භාවිතා කරන පාරිභෝගිකයන් හට අද වන තුරුත් නිසි විසඳුමක් ලබා දී නැත.  2015 වසරේ දී සිදු වූ වැරදිවලින් ඉගෙන තිරසර විද්‍යුත්කරණය සඳහා කීර්තිමත් ගෝලීය නිෂ්පාදකයන් විසින් සපයන ලද නිර්දේශයන්ට සළකා බලා ඒ අනුව ඉදිරියට යාමට CMTA යෝජනා කරයි.

1920 දී ස්ථාපිත සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත අතර, ශ්‍රී ලංකාවේ රථ වාහන කර්මාන්තයේ හඬ ලෙස පුළුල්ව පිළි ගනු ලබයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වේ.  CMTA හි සාමාජිකයින් සියලු දෙනාම අන්තර්ජාතික මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් නියෝජිතයින් ද වේ.  CMTA විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ  යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ  වඩාත් හොඳ  අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් පුහුණු  හා රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *