Latest News Sinhala

ශ්‍රී ලංකා අපනයන ආර්ථිකය යළි පිබිදීම කෙරෙහි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී අවධානය යොමු කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA)  21 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි. පසුගිය වසර පුරාවට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිමත් කර නඟා සිටුවීම වෙනුවෙන් කමිටුව සමඟ එක්ව සිය පූර්ණ දායකත්වය සපයමින් කැප වූ  අජ්වර්ඩ් ඩීන් මහතා එහිදී සංගමයේ සභාපති ධූරය සඳහා  නැවත වරක් තේරී පත් විය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුහුණ දීමට සිදුවුණු දිගු කාලීන බලපෑම් මෙන්ම රට තුළ උද්ගත වූ ආර්ථික හා දේශපාලන අභියෝග ආදී බාධක රැසකට නොබියව මුහුණ දුන් වසරක් ලෙස පසුගිය වසර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට වැදගත් වේ.එමෙන්ම මෑතකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත  FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනය එළි දැක්වීමේ අවස්ථාවක් ද  ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සාර්ථකව සංවිධානය කරන ලදි.

මෙම මහා සභා රැස්වීමේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් ඩීන් මහතා මෙසේ සඳහන් කළේය.”පසුගිය වසර තුළ අපගේ සංගමය  ප්‍රශංසනීය ජයග්‍රහණ කිහිපයක්ම හිමි කර ගැනීමට සමත් වුණා. කර්මාන්තය නඟා සිටුවීමේ සහ වැඩිදියුණු කිරීමේ අරමුණින් අප විවිධ  උපාය මාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට උත්සහ කළා. අපගේ අරමුණ වන්නේ, පතල් කැණීමේ සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුගතවෙමින්  වගකීමෙන් යුතුව නව පතල් ගවේෂණය කිරීමට පතල්කරුවන් සවිබල ගන්වමින් අපේ රටේ මැණික් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ එහි තිරසාරභාවය පවත්නාගෙන යාමට කටයුතු කිරීමයි.”

අපේ රටේ ඉතිහාසය තුළ මෙන්ම  අනාගතය හැඩගැස්වීම කෙරෙහි ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වැදගත්කම  සහ දායකත්වය අපමණය.එබැවින් මෙම කර්මාන්තය රටේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අපගේ සාමූහික වගකීමකි. දේශීය මැණික් කැණීම් මෙහෙයුම් ආරක්ෂා කිරීම මෙරට ඛනිජ සම්පත් ආශ්‍රිත අයිතීන් සුරැකීම යටතට ඇතුළත් වේ.

මෑත කාලීනව ලොව පුරා ඇති වූ ගැටුම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලොව  වඩාත්ම මිල කළ නොහැකි වස්තුව වන්නේ  සාමය  බව පසක් කර ගත හැකිය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ තිරසාර වර්ධනය සහතික කිරීම වෙනුවෙන් සංගමයේ  දිගුකාලීන සැලසුම් නිර්මාණය කර ඇති අතර  එමඟින් වටිනා මැණික් සඳහා දිනෙන් දින ඉහළ යන ගෝලීය ඉල්ලුම සපුරාලීමට  හැකි වේ.මැණික් අපනයනයට අදාළ වඩාත් නම්‍යශීලී රෙගුලාසි මෙන්ම ක්‍රමවත් අපනයන ක්‍රියාවලීන් වැඩි දියුණු කරමින් දේශීය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි පරිදි කර්මාන්තය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා රජයේ පිළිගැනීම හිමිවුණු  ප්‍රමුඛතම අධිකාරියක් ලෙස ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය එම කර්මාන්තයේ සියලුම අංශ වෙනුවෙන්  සාමූහික හඬ ලෙස පෙනී සිටිමින් මැණික් පතල් කම්කරුවන් සහ නිෂ්පාදකයින්ගේ සිට තොග සහ සිල්ලර වෙළෙන්දන්, අපනයනකරුවන්, මැණික් තාක්ෂණික ශිල්පීන් ආදී සෑම අංශයකම නියුතු වෘත්තිකයන් වෙනුවෙන් මෙන්ම සමස්ත වෙළෙඳාමේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් ද වෙහෙස නොබලා කැපවී සිටියි.මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අඛණ්ඩව සවිමත් වර්ධනයක් කරා ගෙන යාම සහතික කිරීමේ පරමාර්ථයන් පෙරදැරි කරගනිමින් ඉදිරි වසර තුළ ක්ෂේත්‍රයේ සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමට මැණික් හා ස්වර්ණාභරණ සංගමය නිරන්තර උත්සහයක යෙදී සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *