Latest News Sinhala

ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ නිර්මාණයන් ප්‍රදර්ශනය කරමින් අවසන් මහ තරඟයේ දී SPARK 2023 සම්මානය වෙනුවෙන් තරඟ වැදුණි.

මෙහිදී SPARK 2023 තරඟාවලියේ ජයග්‍රාහිකාව වශයෙන් මිහින්දි මිනුපමා බණ්ඩාර තේරී පත් වු අතර, සිය ජයග්‍රහණය පිළිබඳව ඇය මෙසේ අදහස් පළකරන ලදී. “SPARK තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම අපි වැනි තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් මෙබඳු අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව මම මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා. අප සතුව පවතින නව අදහස් බෙදාගැනීමට හැකිවීම, මඟපෙන්වීම වගේම අපගේ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය සැළකිය හැකියි. මෙවැනි වැඩසටහනක් සංවිධානය කරමින් අපව ඉදිරියට ගෙන එමට කටයුතු කළ සියලුදෙනාම ස්තුතියි පුදකරන අතර, ඉදිරි අනාගතයේදීත් මෙබඳු වැඩසටහන් සංවිධානය කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.”

දිවයින පුරා සිටින තරඟකරුවන්ගේ  400කට අධික අයදුම්පත් ප්‍රමාණයක් අතරින් තෝරාගත් අවසන් අයදුම්කරුවන් 05 දෙනා සිය නවෝත්පාදන ව්‍යාපාරික අදහස් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ  ප්‍රදර්ශනය කරන ලදී. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ, Threadworks හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් ද සොයිසා, හේමාස් හෝල්ඩින්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී / විධායක අධ්‍යක්ෂ කස්තුරි චෙල්ලරාජා විල්සන්, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය කාලිංගමුදලි, Remedium one හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සමන්ත රණතුංග, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය වන්නිනායක, ඩයලොග් ආසියාටා පිඑල්සී හි තිරසාර මෙහෙයුම් අංශයේ විශේෂඥ රක්ෂිකා නෙදුමාරන් යන විද්වතුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලය මෙම තරඟාවලියේ විනිශ්චය කටයුතු සිදුකරන ලදී.

මෙරට ක්‍රියාත්මක පරිසර හිතකාමී හා තිරසර සමාගම් කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන ලද SPARK තරඟාවලියේ සුවිශේෂිත්වය වනුයේ එය මෙරට තාරුණ්‍ය ඉලක්ක කරගනිමින් සංවිධානය විමයි.එසේම මෙම තරඟාවලිය වෙනුවෙන් සහභාගී වූ තරඟකරුවන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වය පෝෂණය කිරීම හා ඔවුන් නඟාසිටුවීම ප්‍රධාන අරමුණ විය. තරඟාවලියෙහි පළමු වටයේ දී තෝරාගත් තරඟකරුවන් 100 ක් පමණ ඇතුළත්ව විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ලද අතර, අවසන් තරඟකරුවන් 35ක් සඳහා දින දෙකක් පුරාවට නේවාසික අධ්‍යාපනික කඳවුරක් ද සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාල ප්‍රධාන තාක්ෂණික උපදේශක ආචාර්ය තෝමස් ක්‍රිං මහතා මෙසේ සිය අදහස් දැක්විය. ” ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් සොයා යන ගමනේ සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් පාසැල් හා තරුණ ප්‍රජාව වෙනුවෙන් ව්‍යවසායකත්ව සමාජයක් නිර්මාණය කිරීම මෙන්ම ඒ වෙනුවෙන් පුහුණු හා උපදේශක සංචිතයක් ඇතිකිරීම මෙම SPARK වැඩසටහනේ අරමුණයි. ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම වෘත්තීය දැනුමක් ලෙස සැළකීම වෙනුවෙන් තරුණ ප්‍රජාව, අධ්‍යාපනවේදීන් , දෙමාපියන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් හා පෞද්ගලික අංශය දායකත්වය ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපගේ තරුණ තරුණියන් අතර ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම මෙරට ප්‍රගමනයට විශාල දායකත්වයක් දක්වනු නොඅනුමානයි.”

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “SPARK තරඟය මෙරට තරුණ ව්‍යවසායකයින් හා නවෝත්පාදකයින් සඳහා වේදිකාවක් වන අතර තරඟාවලියෙන් ඔබ්බට ගිය සහෝදරත්වයක් ඔවුන් අතර නිර්මාණය වී තිබෙනවා. මෙම SPARK වැඩසටහන වාර්ෂිකව සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ලෙස අප කැප වී කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් මෙම තරුණ ව්‍යවසායකයින් නඟාසිටුවීම කදිම ආයෝජනයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා.”

ව්‍යාවසායකත්වය මඟින් පවතින සමාජ තත්ත්වය වර්ධනය කරන අතර නව චින්තනයන් සමාජගත කරනු ලබයි. එසේම රටක දැනුම පරිවර්තනීය වෙනසකට පත්කරන අතර නව්‍යකරණය සඳහා සිය දායකත්වය ලබාදෙනු ලබයි. තාරුණ්‍යයේ දක්ෂතාවන් හා නැවුම් අදහස් හා නිර්මාණශීලිත්වය තුළින්  අනාගතය වෙනුවෙන් යහපත් මාවතක් නිර්මාණය කරනු ලබයි.

SPARK 2023 වැඩසටහන යනු තරුණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව (SALE) වැඩසටහනේ තවත් එක් ඉදිරිගාමී පියවරක් වන අතර එහි මුලික පාර්ශවකරු වශයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ක්‍රියාත්මක වනු ලබයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සපයනු ලබන මෙම වැඩසටහන මඟින් නව අදහස් හා දක්ෂතා වලින් පරිපූර්ණ වූ ව්‍යවසායක තරුණ තරුණියන් දිරිගැන්වීම අරමුණ කරගෙන තිබේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *