Latest News Sinhala

කාබනික අපද්‍රව්‍ය පිරිසිදු පුනර්ජනනීය බලශක්තීන් බවට පත් කිරීමේ අරමුණින් DIMO ඊශ්‍රායලයේ HomeBiogas සමඟ හවුල්කාරිත්වයකට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ඊශ්‍රායලයේ ජීව වායු පද්ධති නිපදවීමේ  ප්‍රමුඛයා වන HomeBiogas සමඟ හවුල්කාරිත්වයකට පිවිස ඇත. මෙම හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට සහ ව්‍යාපාරවලට තම කාබනික අපද්‍රව්‍ය, ආහාර පිසීම සඳහා අවශ්‍ය ගෑස් සහ කාබනික දියර පොහොර බවට පරිවර්තනය කිරීමට උපකාරී වන HomeBiogas නිෂ්පාදන පෙළක්  හඳුන්වා දීම සිදු කරයි.

මෙම හවුල්කාරිත්වය හරහා DIMO ජීව වායු පද්ධති තුනක් ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දෙයි. HomeBiogas system 2 කුඩා පරිමාණ ගෙවතු සඳහා සුදුසු වන අතර HomeBiogas system 4 විශාල ගෙවතු ඉඩකඩ සහිත නිවාස සඳහා ද HomeBiogas system 6 කුඩා අවන්හල් සහ ගොවිපල වැනි ව්‍යාපාර සඳහා ද යොදා ගත හැක. මෙම සෑම පද්ධතියකම digestive tank, gas tank, inlets සහ outlets යන ප්‍රධාන කොටස් හතරක් අඩංගු වේ. මීට අමතරව, ගෑස් උදුන් සහ ගෑස් පෙරහන් වැනි උපාංග ද ලබා දෙනු ඇත. පැය දෙකකට ආසන්න කාලයක් ඇතුළතදී එක් එක් පද්ධතියේ සම්පූර්ණ ස්ථාපන ක්‍රියාවලිය සිදු කළ හැකිය.

DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” පරිසර හිතකාමී ලෙස පිරිසිදු බලශක්තිය නිපදවීම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ කාබනික පොහොර සඳහා ප්‍රවේශය ලබා ගැනීම වැනි ගැටළු සඳහා විසඳුමක් ලෙස මෙම ක්‍රියාවලිය හඳුන්වා දෙන්න පුළුවන්. HomeBiogas සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය තුළින් මෙම විසඳුම් මේ රටට හඳුන්වාදීම මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අප කටයුතු කරනවා.”

මෙම පද්ධතිය ස්ථාපනය කළ පසු digestive tank එකට ගොම සහ ජලය මිශ්‍ර කර සක්‍රිය කිරීම සඳහා දින 21ක් තබා ගත යුතුය. එය සූර්යාලෝකයට නිරාවරණය වන පරිදි පැතලි මතුපිටක් මත තැබිය යුතු අතර සක්‍රිය වූ පසු HomeBiogas  පද්ධතිය යොදන කාබනික අපද්‍රව්‍ය , ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ගෑස් සහ කාබනික දියර පොහොර බවට පරිවර්තනය කරනු ඇත. ජීව වායු පද්ධති වර්ග තුනම පැය 2 සිට 6 දක්වා කාලයක් ආහාර පිසීමට ප්‍රමාණවත් ගෑස් නිපදවන අතර දිනකට කාබනික අපද්‍රව්‍ය හෝ සත්ව පොහොර ලීටර් 4 සිට 12 දක්වා ප්‍රමාණයකින් දියර පොහොර ලීටර් 8 සිට 120 දක්වා නිපදවිය හැකිය.

“මෙය ග්‍රාමීය ගොවීන්ට කදිම විසඳුමක් වන අතර කාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් තිරසාර කෘෂිකර්මයක් සඳහා අවැසි කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාලීම ද සිදු කරයි. HomeBiogas පද්ධති, ආරක්ෂාව සඳහා වන යුරෝපීය CE සහතිකයක් ද ලබාගෙන ඇත. මෙම පද්ධතිවලට ඇතුළත් කර ඇති digestive tanks වසර 15 ක ආයු කාලයක් සහිතව  කල් පවතින, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර ප්‍රවාහනය කිරීමට සහ ස්ථාපනය කිරීමට ද පහසු වෙයි. තවද, HomeBiogas යනු ISO 14001 සහ ISO 9001 සහතික ලත් සමාගමකි.” DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

DIMO විසින් දැනටමත් පොළොන්නරුව – කන්දකාඩුව – යුධ හමුදා ගොවිපල, මහනුවර – දිගන – පශු සම්පත් සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය සහ ආගරපතන – මානික්පාලම – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපල යන ස්ථානවල HomeBiogas පද්ධති ස්ථාපිත කර ඇත. HomeBiogas පද්ධති පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගනිමින් NLDB හි සාමාන්‍යාධිකාරී ආචාර්ය සුනෙත් ​​දිස්නක මහතා මෙසේ පැවසීය. “HomeBiogas පද්ධති බොහෝ ප්‍රයෝජනවත් අංගයන්ගෙන් සමන්විත වන අතර ස්ථාපනය සහ නඩත්තු කිරීම පහසුයි. මෙම පද්ධති පරිසරයට වන හානිය අවම කිරීම සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති අතර, ස්ථාපනයේදී කිසිදු කැණීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බැවින් අවදානමද අවම කරනවා. මෙම පද්ධති මඟින් ධනාත්මක සහ තිරසාර බලපෑමක් ඇති කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා.”

මෙම ජීව වායු පද්ධති සාධාරණ මිලකට වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර අවම නඩත්තු වියදම්වලින් ද සමන්විත වේ. ඒවා ඕනෑම ස්ථානයක ස්ථාපනය කළ හැකි අතර DIMO විසින් දැනටමත් දිවයින පුරා විවිධ  ප්‍රදේශවල ඒවා ස්ථාපනය කර ඇත. HomeBiogas හි දේශීය හවුල්කරු ලෙස DIMO, සිය දශක 8 කට වැඩි ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශේෂඥතාවය තුළින් රට පුරා මෙම පද්ධති ස්ථාපනය කිරීම සහ සේවා සැපයීම සිදු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *