Latest News Sinhala

දේශීය ආර්ථික සංවර්ධනය පෙරදැරි කරගනිමින් ඩීමෝ විසින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවාවන් ලබා දේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය වන DIMO TECH හරහා කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවාවන් ලබාදීමට තීරණය කර ඇත. 

DIMO TECH විසින් ඉංජිනේරු විසඳුම් ලබා දෙන අංශයන් හි සිටින සියලුම කර්මාන්තකරුවන් සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත. මේ තුළින් කර්මාන්තකරුවන් සඳහා දැන් පළපුරුදු වෘත්තීය කණ්ඩායම් හරහා නොමිලේ තාක්ෂණික පරීක්‍ෂණ සිදුකර ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන් හරහා කාර්මික උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද ලබාදෙනු ඇත. රෝහල් සහ සංචාරක (හෝටල්) යන අංශයන් හි කාර්යක්‍ෂම ක්‍රියාකාරිත්වය සහතික කිරීම සදහා ඩීමෝ සමාගම දැනටමත් සිය ඉංජිනේරු සේවා මෙම අංශයන් දක්වා ද ව්‍යාප්ත කර ඇත.

MTU, Detroit Diesel සහ John Deere වැනි ලොව පිළිගත් ඉංජිනේරු සන්නාම හා පවතින දශක 8 කට වැඩි පළපුරුද්දත් සමඟ ඩීමෝ මෙම කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීම සදහා උපකාරී වන දැනුම සහ සම්පත් සමඟින් සන්නද්ධ වී සිටියි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙලෙස පවසයි. “සෑම ව්‍යාපාරයකම කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නැංවීමේ කාර්යයේදී  ඉංජිනේරු සේවාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එලෙසම ඕනෑම ව්‍යාපාරයක කාර්යක්‍ෂමතාව සහතික කිරීම සඳහා යන්ත්‍රෝපකරණ අඛණ්ඩව නඩත්තු කිරීම ඉතා වැදගත් වෙනවා. අපගේ සේවාවන් හරහා අප උත්සහ කරන්නේ මෙම කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර සංවර්ධනය සදහා අවශ්‍ය ඉංජිනේරු සේවා සහය ලබාදීමටයි. වසංගතය හේතුවෙන් අඩපණ වූ ආර්ථිකය ගොඩ නැංවීම උදෙසා මෙය ඉවහල් වන අතරම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ඉදිරියේදීත් ලබාදීමට ඩීමෝ අප කැපවෙමින් කටයුතු කරනවා”.

වසංගත තත්ත්වය හමුවේ පැනවූ විවිධ සීමා හේතුවෙන් ඇණහිට තිබූ මෙහෙයුම් නිසා බොහෝ ව්‍යාපාර වල යන්ත්‍රෝපකරණ දිගු කාලයක් ක්‍රියා විරහිත වී තිබුණි.ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා,ඉහළ මෙහෙයුම් ඵලදායීතාවයක් සහිත යන්ත්‍රෝපකරණවල නිසි ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් වේ.මෙහිදී ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට නම්,මෙම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රමාණවත් පරීක්‍ෂණ සිදුකිරීම අත්‍යවශ්‍ය බව DIMO TECH හි අප දැඩි ලෙස විශ්වාස කරයි. තවද, සංචරණ සීමා තුළද නොකඩවා ක්‍රියාත්මක කල යන්ත්‍ර උපකරණයන්හි තාක්‍ෂණික දෝෂ කල්තියා හඳුනා ගැනීමට  මෙම නොමිලේ ලබා දෙන තාක්ෂණික පරීක්ෂණ සේවාවන් මගින්  සියලුම කර්මාන්තකරුවන්ට  හැකියාව ලැබේ.

DIMO TECH විසින් යාන්ත්‍රික උපකරණ සහ ගොඩනැගිලි පද්ධති නඩත්තුව, බොයිලර් සහ හීටින්ග් සිස්ටම් නඩත්තුව,වෙන්ටිලේෂන් පද්ධති නඩත්තුව, ස්ටීම් ටර්බයින් නඩත්තුව සහ තේ හා රබර් කර්මාන්තයන්හි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සිදු කරයි. නැව් අළුත්වැඩියා කිරීම, දුම්රිය එන්ජින් සහ ඩීසල් බල උත්පාදක යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම  මෙන්ම කර්මාන්තශාලා යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමද මෙම අංශයේ සේවාවන්ට ඇතුළත් ය. DIMO TECH අංශය ආවරණය කරන තවත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ගුවන් සේවා අංශය සදහන් කළ හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *