Latest News Sinhala

කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි

අභියෝගාත්මක  ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත් විය.

තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමණාකරණ පද්ධතිය තහවුරු කරමින්  ICRA Lanka මඟින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) හි ණය ශ්‍රේණිගත කිරීම  (SL) A ස්ථාවර දර්ශකයක් ලෙසට ඉහළ නංවා තිබීමද විශේෂත්වයකි.  මෙම මුල්‍ය වර්ෂය තුළම  LMD විශිෂ්ඨ සන්නාම 50 තුළ ඉහළ ස්ථානයක් හිමි කරගත් CLC,  ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ  ක්ෂුද්‍ර ඉතිරිකිරීම් (Micro savings) සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලබා ගත් ප්‍රථම මූල්‍ය සමාගම බවටද පත් විය.     

වසර තුළ මුල්‍ය ක්ෂේත්‍රයට අභියෝග කළ අනපේක්ෂිත බලපෑම් රැසක් මධ්‍යයේ CLC,  රුපියල් මිලියන 1,547ක බදු පසු ලාභයක් වාර්තා කල අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 29ක ඉහළ වර්ධනයකි. මෙම මුල්‍ය වර්ෂය තුලදී සමාගමේ අරමුදල් පිරිවැය 8% කින් සහ පොදු කාර්ය පිරිවැය 12% කින් අඩු වීම සමාගමේ නිවැරදි පිරිවැය කළමනාකරණ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.  තවද සමාගමේ  අක්‍රිය ණය අනුපාතිකය (NPL), 2019 වර්ෂය තුළ 7.05% ක අඩු අගයක් ලෙස වාර්තා වූ අතර, සමස්ත මුල්‍ය ක්ෂේත්‍රය තුළ NPL අගය සියයට 11 ඉක්මවා ඇති බව වාර්තා වේ.  ඒ හා සැසඳීමේදී  වර්ෂය තුළ පැවති සාර්ව ආර්ථික අභියෝගයන්ට CLC සමාගම සාර්ථක ලෙස මුහුණ දී ඇති බව මනාව පිළිබිඹු වේ. 

2019 අප්‍රේල් මස ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කල පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ දේශීය හා විදේශීය සමාගම් රැසක මෙහෙයුම් කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල වූ නමුත්,  CLC සමාගමට එම අර්බුදකාරී තත්ත්වයන් සඳහා සාර්ථකව මුහුණ දීමට සියයට 95ක ප්‍රතිශතයක් ඉක්මවූ වත්කම් මත පදනම් වූ (asset-backed products) සමාගමේ නිෂ්පාදන කළඹ උපකාරී විය.  

ගෙවී ගිය අභියෝගාත්මක වසර පිළිබඳ සිය අදහස් දක්වමින් CLC හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පවසා සිටී.

ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහළ ඍණාත්මක බලපෑමක් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත්, ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් 19 වසංගත තත්වයත් හේතුවෙන් මුල්‍ය ක්ෂේත්‍රය වර්තමානයේ විශාල අභියෝග රැසකට මුහුණ පාමින් සිටී. මෙවැනි අභියෝගාත්මක වසරක ඉහළ බදු පසු ලාභයක් සමඟින් පහළ අක්‍රිය ණය අනුපාතයක් වාර්තා කරමින්, ශක්තිමත් කාර්යසාධනයක් ළඟා කර ගැනීමට  CLC හට  හැකි වීම පිළිබඳ මා බෙහෙවින් සතුටු වනවා.

2018/ 2019 වසර තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග හේතුවෙන් සමස්තයක් ලෙස බැංකුකරණ ක්ෂේත්‍රය අභියෝගයට ලක් වුව ද CLC සමාගම සිය ප්‍රධානතම ව්‍යාපාරික අංශ අඛණ්ඩව වර්ධනය කරමින්, පාරිභෝගිකයාට ඉහළම හා කාර්යක්ෂම  සේවාවක් ලබා දීමට සමත් විය. මෙම මුල්‍ය සාර්ථකත්වය සඳහා බලපාන ලද ප්‍රධාන සාධක ලෙස  දූරදර්ශී පිරිවැය කළමනාකරණය හරහා ආදායම් උපරිමකරණය කිරීම හා  උපායශීලි ණය කළමනාකරණය සාධක විය. 

සමාගමේ ඉහළ මෙහෙයුම් කාර්ය සාධනය ගණුදෙනුකරුවන් තුළ සමාගම කෙරෙහි ඉහළ විශ්වසනීයත්වයක් ගොඩ නැංවූ අතර, මෙය රුපියල් බිලියන 25ක් දක්වා සමාගමේ තැන්පතු පදනම වර්ධනය වීමට හේතු විය. ගණුදෙනුකාර තැන්පතු සමාගමේ  මුළු අරමුදල් සඳහා  සියයට 52ක දායකත්වයක් සපයයි.  සමාගමේ අනෙකුත් අරමුදල් ප්‍රභවයන් අතර DFI borrowings, බැංකු අරමුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ ආශ්‍රිත නිෂ්පාදන සහ පුළුල් පරාසයක විහිදුණු වගකීම් ඇතුළත් වේ. තවද CLC හි සමස්ථ ප්‍රාග්ධනය රුපියල් බිලියන 17ක ඉහළ අගයක පවතින අතර, මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රමාණාත්මක ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට වඩා ඉතා ඉහළ මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මුල්‍ය සමාගම වන CLC, ඉදිරියේදී  රන් ණය,  ඉස්ලාමීය මූල්‍ය සේවා සහ ක්ෂුද්‍ර මූල්‍ය යන ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරයි. මෙලෙස වර්ධනය වන  පාරිභෝගික  අවශ්‍යතා සඳහා සාර්ථකව මුහුණ දීම සඳහා රන්/උකස් ණය ලබා දීමට CLC සිය මෙහෙයුම් පසුගිය වසරේදී ආරම්භ කළ අතර මේ වන විට එම සේවාව දීප ව්‍යාප්ත CLC ශාඛා 66 න් 55 ක් දක්වාම ව්‍යාප්ත කර ඇත. 

මෙම ශක්තිමත් කාර්යසාධනය පිළිබඳ තව දුරටත් අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා පවසා සිටියේ අභියෝගාත්මක කාලවකවානුවක් වූ මේ කාල පරාසයේ දී පවා පැමිණි අභියෝග ජයගෙන ඔවුන්ගේ ව්‍යාපාර ඉතිහාසයේ වාර්තාගත විශිෂ්ටත්වයක් සනිටුහන් කළ මූල්‍ය වසරක් ලෙස මේ වසර හැඳින්විය හැකි බවයි.

2019/20 මුල්‍ය වර්ෂය සඳහා LOLC ( ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පී.එල්.සී.) සමාගමේ මූල්‍ය සේවා පරිපාලිතයක් වන CLC හි ණය ශ්‍රේණිගත කිරීම  (SL) A දක්වා ස්ථාවර දර්ශකයකට ඉහළ නැංවීමට,  LOLC  විසින්  කාම්බෝජයේ PRASAC Micro-Finance අයිතිය ඩොලර් මිලියන 400 කට විකිණීමේ ගණුදෙනුව  වඩාත් ඉවහල් විය. අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටි වකවානුවක සමාගමට සහ රටේ ආර්ථිකයට මෙම ගනුදෙනුව ඉහළ ස්ථාවරත්වයක් ගෙන එන ලදී. 

 තවද කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ රටේ ජනතාව මුහුණ දුන් විවිධ මුල්‍ය දුෂ්කරතා සඳහා CLC විසින් සහනදායී විසඳුම් රැසක් දුන් අතර, එහිදී වැදගත් සංධිස්ථානයක් පසු කරමින් 59000 කට අධික සිය පාරිභෝගිකයින් සඳහා ලබා දුන් ණය පමා සහන කාල සීමාව වැදගත් වේ. මෙවන් අසීරු කාල සීමාවක වුවද  සමාගම විසින් දිනාගත් පාරිභෝගික විශ්වාසය හේතුවෙන් ඉහළ  තැන්පතු ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට CLC හට හැකි වීම සුවිශේෂී කරුණකි. 

ගෝලීය ඉදිරි දැක්මේදී ද, දේශීය ඉදිරි දැක්මේදී ද, අවිනිශ්චිතභාවය සම්මතයක් වී ඇත. මෙම අවිනිශ්චිතභාවයන් හේතුවෙන් හට ගන්නා විවිධ ක්ෂේත්‍ර තර්ජන සහ අවස්ථා සඳහා සාර්ථකව මුහුණ දීම සඳහා සමාගම් සිය අභ්‍යන්තර සහ බාහිර  සියලුම පාර්ශවකරුවන් නිවැරදිව මෙහෙයවීම, පැහැදිළි අභ්‍යන්තර හා බාහිර සන්නිවේදන ක්‍රියාදාමයන් පවත්වා ගැනීම, පද්ධති සහ ක්‍රියාවලි නවෝත්පාදනය, දුරදර්ශි අවදානම් කළමනාකරණය යන සාධක බෙහෙවින් ඉවහල් වේ.  ශක්තිමත් ශේෂ පත්‍රයක් ගොඩ නැංවීම තුලින් පමණක් සමාගමක් ලෙස ඉදිරියට යා නොහැකි අතර, නිතරම ව්‍යාපාර ව්‍යුහයට අභියෝග කිරීම, කාර්යක්ෂම පිරිවැය ප්‍රතිපත්ති සහ අදායම් ප්‍රතිපත්ති ඇති කිරීම, ශක්තිමත් ප්‍රාග්ධන ව්‍යුහයක් ගොඩ නැගීම අනිවාර්යෙන් සිදු කල යුතුය. 

CLC සමාගම මෙම සියලුම අංශයන්හි ඉහළම ප්‍රගතියක් අත්පත් කරගත් සමාගමක් ලෙස හැඳින්විය හැකි අතර,  දිනෙන් දින වෙනස්වන ව්‍යාපාර ලෝකයට සාර්ථක ලෙස විසඳුම් ඉදිරිපත් කරමින් CLC සමාගම ඉදිරියටත් කටයුතු කරනු ඇති. 2019/20 වර්ෂ සඳහා LMD විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කරන ශ්‍රී  ලංකාවේ විශිෂ්ටතම  සන්නාමයන් 50 අතරට CLC ඇතුළත් වීම පාරිභෝගිකයින් ව්‍යාපාර සන්නාමය උදෙසා ඇති දැඩි කැමැත්ත පෙන්නුම් කිරීමට කදිම සාක්ෂියකි. 

 CLC හි සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධාන බලවේගය වන එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සමාගම අත්පත් කර ගත්  ඉහළ මුල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පවසා සිටී.  බැංකු ඇතුළු මුල්‍ය පද්ධතිය ආර්ථිකය තුළ ඉතා  වැදගත්  කාර්යභාරයක් ඉටු කරන අතර, රටේ පවතින මධ්‍යස්ථ ආරථික වර්ධනය,  කාලගුණික වෙනස්කම්,  සමාජීය නොසන්සුන්කාරීත්වයන්  හා  සෞඛ්‍යමය හේතු මුල්‍ය පද්ධතිය තුළට විශාල බලපෑමක් එල්ල කර ඇත.  එවන් කාල වකවානුවක CLC සාමාගම අත්පත් කරගත් ප්‍රශංසනීය මුල්‍ය තත්ත්වය පිළිබඳ මා සතුටට පත්වන අතර වඩාත්ම වැදගත් කාරණය වනුයේ බොහෝ මුල්‍ය සමාගම් වල ණය ශ්‍රේණීන් පහත හෙලනු ලබන කාලයක ICRA ලංකා විසින් CLC හට  ඉහළ ස්ථාවර  A ශ්‍රේණියක් ලබා දීමයි.  

සාර්ව පසුබිමෙහි සංකීර්ණතාවයන් තුළ  විශිෂ්ඨ කාර්යසාධනයන් පෙන්වූ වසරක් නිර්මාණය සඳහා කටයුතු කළමණාකරණය කළ CLC හි අධ්‍යක්ෂ මණ්ඩලය නිතරම ව්‍යාපාරයේ කටයුතු, හා පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ දැඩි විමසිලිමත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාර්ථකත්වයන් හැඳින්විය හැකිය. ඉතා සමබර හා බුද්ධිමත් උපායමාර්ග නිර්මාණයේ අති දක්ෂයින් වන CLC හි අධ්‍යක්ෂ මණ්ඩලය නිතරම උත්සහ කරනුයේ පාරිභෝගිකයා සවිමත් කරමින් ප්‍රබල ආර්ථිකයක් ගොඩ නැංවීම උදෙසා සිය උපරිම දායකත්වය ලබා දීමටයි.  LOLC සමූහයේ ශක්තිමත් ව්‍යාපාර පදනම සහ CLC සමාගමේ සියලුම මානව සම්පත්හි කැපවීමේ ප්‍රථිපලයක් ලෙස මෙම විශිෂ්ඨ ප්‍රතිඵලය හැඳින්විය හැකිය.  

අප පාරිභෝගිකයන් රැසකගේ ජීවන තත්ත්වයන් අඩාල කරමින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන් විනාශ කළ පාස්කු ඉරිදා කුරිරු ප්‍රහාර මාලාව මුල්‍ය ක්ෂේත්‍රය තුළට දැඩි අභියෝගයන් රැසක් එල්ල කරන ලදී. තවද වසර අග දී ගෝලීය වශයෙන් කොවිඞ් වසංගත තත්ත්වයේ ප්‍රබල මතුවීමක් පෙන්නුම් කිරීමත් සමඟ  නැවතත්  දේශීය වෙළඳපළ අකර්මණ්‍ය වී එම මුල්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවිය. මෙහිදී CLC සමාගමේ ඩිජිටල් තාක්ෂණික ශක්තීන් සහ ව්‍යාපාර අවධානම් කළමනාකරණය සඳහා වූ ශක්තිමත් සහ දූරදර්ශි කාර්ය මණ්ඩලය මූලිකත්වය ගෙන පාරිභෝගිකයාට කිසිඳු දුෂ්කරතාවයකින් තොරව සිය මුල්‍ය කටයුතු කර ගැනීම උදෙසා වඩාත් කාර්යක්ෂම සේවා හඳුන්වා දීම සිදු කරන ලදී.  මෙහිදී පාරිභෝගිකයින් ඩිජිටල් තාක්ෂණය හරහා ගණුදෙනු සිදු කිරීමට පෙළඹවීම කෙරෙහි CLC ඉහළ කැපවීමකින් කටයුතු කරන ලදී.

මේ වන විටත් ඩිජිටල්කරණය කරන ලද ගනුදෙනු විශාල ප්‍රමාණයක් හැසිරවීමට හැකි වන ආකාරයෙන් CLC සමාගමේ තාක්ෂණය වැඩි දියුණු කර ඇති අතර, මෙහිදී අඛණ්ඩව මුල්‍ය සේවා සඳහා ප්‍රවිෂ්ඨ වීමට සෑම පාරිභෝගිකයකුටම අවස්ථාව හිමි වනු ඇති. 

බිලියන 100ක මුල්‍ය පදනමක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම මුල්‍ය සමාගමක් වීම CLC හි දැක්ම වන අතර, එම දැක්ම කරා යාමට අවශ්‍ය සියලුම ශක්තින් ගෙන් සමාගම දැන් සමන්විත වේ.  80,000 කට අධික විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් සඳහා සේවා සපයන CLC, කුඩා හා මාධ්‍ය ව්‍යාපාර සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය ඇතුළු රටේ බොහෝ වැදගත් ක්ෂේත්‍ර වල වර්ධනය උදෙසා ඉහළ කැපකිරීමක් සිදු කරයි. රටෙහි දැනට පවතින ආර්ථික හා සමාජීය අභියෝගයන් මනාව විශ්ලේෂණය කිරීමෙන් පසු aquaculture, ක්ෂුද්‍ර බලශක්ති උත්පාදනය සහ නව ව්‍යාපාර සංවර්ධනය කෙරෙහි අවශ්‍ය ආයෝජන ලබා දීම කෙරෙහි CLC ඉහළ වැදගත්කමක් ලබා දේ.  තවද සමාගමේ ප්‍රධාන සේවා වන කාලීන ණය, flexicash, ඉස්ලාමීය මූල්‍ය, ලීසිං, ෆැක්ටරින් සහ රන් හා දේපල ණය වැනි දෑ 2019/20 මුල්‍ය වර්ෂය තුළ සමාගමේ ඉහළ කාර්යසාධනය  සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

දුරදර්ශි කළමනාකරණය තුළින් ලැබූ පන්නරය මත සංකීර්ණ හා තරඟකාරී ව්‍යාපාර පරිසරය තුළ වුවද ව්‍යාපාර සැලැස්ම නිසි පරිදි අනුගමනය කිරීමෙන් විශිෂ්ඨ මෙහෙයුම් හා මුල්‍ය ප්‍රථිපල අත්කරගත් හොඳම වර්ෂයක් ලෙස මෙම මුල්‍ය වර්ෂය නම් කිරීමට හැකි බව CLC හි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවසාන වශයෙන් කියා සිටියේය.

ඡායාරූප විස්තරය

  1. කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. හි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ

අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *