
කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුමක් වන ‘ දිසි රැළ’ දෙවන අදියර පසුගියදා දියත් කළ අතර එමඟින් සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන ස්ථිර කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.
පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ගොඩනැගුණු මෙම පුළුල් මෙහෙයුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ හැකියාවන් පිළිබඳ විශාල ඉදිරි පිම්මක් සනිටුහන් කරයි. ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙමින්, ඉහළ කාර්යසාධනයක් සහිත ස්ටැබික්‍රාෆ්ට් මුර සංචාර යාත්‍රාවක් (Stabicraft ) පිරිනමන ලදී. එමෙන්ම දිසි රැළ
වැඩසටහනේ අනාගත ප්‍රවේශයක් ලෙස රුපියල් මිලියන 12ක වටිනාකමින් යුතු දියුණු තාක්ෂණයෙන් නිමවූ “ නිරීක්ෂණ ඩ්‍රෝන යානා” සහ “සමුද්‍රීය නිරීක්ෂණ උපකරණ” ආදී මෙවලම් රැසක් ලබාදීමටද ඕස්ට්‍රේලියාව සැලසුම් කර තිබේ.
‘සමුද්‍රීය පරිසරය පිළිබඳ විමසිලිමත්භාවය’ යන අර්ථයෙන් අරුත් ගැන්වෙන දිසි රැළ ඔස්සේ නීති විරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සිය ඒකාබද්ධ මෙහෙයුම් ඔස්සේ දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වේ. බුද්ධි අංශවල සහයෝගීතාවය, දියුණු උපකරණ සැපයීම සහ ප්‍රජා සම්බන්ධතා සවිමත් කිරීම හරහා මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතියට පටහැනි අපරාධයන් මැඩපවත්වමින්,කලාපීය සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීමට රටවල් ද්විත්වය විසින්ම එක්ව කටයුතු කරනු ලැබේ.

මෙම මෙහෙයුම සඳහා මහජන සහභාගීත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කරමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය, “ජාතීන් අතර මෙන්ම ප්‍රජාවන් සමඟ ඇති සහයෝගීතාවයේ බලය ප්‍රදර්ශනය කරන දිසි රැළ යනු, තාක්ෂණය සහ මුර සංචාරවලින් ඔබ්බට ගිය මෙහෙයුමක්. සෑම ශ්‍රී ලාංකිකයෙකුම මෙරට සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.”
ඒකාබද්ධ නියෝජිත ආයතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අංශයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් මහතා (RAN) මෙම හවුල්කාරිත්වය අගයමින් මෙසේ සඳහන් කළේය,”සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ හවුල්කාරී වගකීම කෙරෙහි අපගේ රටවල් ද්විත්වයම කෙතරම් ගැඹුරින් අවධානය යොමු කර තිබේද යන්න පිළිබඳ මෙම දිසි රැළ මෙහෙයුමේ දෙවන අදියර ඔස්සේ මැනවින් පිළිබිඹු වෙනවා. අපගේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන මෙම නව පහසුකම් සමඟින් සමුද්‍රීය කලාපය ආරක්ෂිතව තබා ගැනීම සඳහා අප දක්වන කැපවීම තවදුරටත් සවිමත් කරනවා.”
පැය 24 පුරාම ක්‍රියාත්මක 106 දුරකථන අංකය වෙත ක්ෂණික ඇමතුමක් ලබාගනිමින් සැක සහිත සමුද්‍රීය ක්‍රියාකාරකම් පිළිබඳව නිර්නාමිකව වාර්තා කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.
අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීමට සහ ආරක්ෂිත මෙන්ම ස්ථාවර සමුද්‍රීය කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සහයෝගීතාවය මෙම ඒකාබද්ධ මෙහෙයුම ඔස්සේ මැනවින් පිළිබිඹු වේ.