Latest News Sinhala

නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහ ස්වින්බර්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2025 වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව නිම වේ

නවලෝක උසස් අධ්‍යාපන විද්‍යාලය (NCHS) සහ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology) ඔවුන්ගේ දශකයකට අධික සහයෝගීතාවය සනිටුහන් කරමින්, 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඉතා සාර්ථකව පැවැත්විය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම උත්සවය ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශිෂ්ට අධ්‍යාපන අවස්ථා උදා කළ තවත් සාර්ථක වසරක් සැමරීම සංකේතවත් කළේය. ස්වින්බර්න් හා NCHS හි අධ්‍යයන මාර්ග ඔස්සේ විවිධ විෂයයන් පිළිබඳ සිය අධ්‍යයන කටයුතු නිම කළ 300කට අධික සිසුන් පිරිසක් මෙහිදී සිය උපාධි සහතික හිමිකර ගත්හ.

මෙම උත්සවය තුළින් NCHS ආයතනය සහ ස්වින්බර්න් විශ්වවිද්‍යාලය අතර ඇති සහයෝගිතාවයේ අඛණ්ඩ සාර්ථකත්වය ඉස්මතු වීම සුවිශේෂීත්වයකි. මෙම හවුල්කාරිත්වය විසින් ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට මේ වනවිට උසස් අධ්‍යාපනය සහ ජාත්‍යන්තර වෘත්තීන් වෙත නැඹුරු වීමට අත්වැල් සපයා ඇත. කොළඹ සහ මහනුවර පිහිටි NCHS ආයතනයේ ශාඛාවන් ඔස්සේ දිවයින පුරා සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට නිරතුරුව කටයුතු කරනු ලබයි.

NCHS ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිය අදහස් දක්වමින් උපාධිධාරීන්ගේ ජයග්‍රහණ පිළිබඳව සිය අදහස් පළ කළේය. එසේම කුසලතාවන්ගෙන් හා අචාර ධර්මයන්ගෙන් පිරිපුන්, ගෝලීය මනසක් සහිත පුද්ගලයන් පෝෂණය කිරීම විද්‍යාලයේ මෙහෙවර බව තවදුරටත් ඔහු සඳහන් කළේය. “උපාධි හිමිකර ගැනීම ඔබගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව, ඔබේ දෙමාපියන්, ගුරුවරුන් සහ පවුල විසින් ලබා දුන් නිරන්තර සහයෝගයට සිදු කරන උපහාරයක්. ශ්‍රී ලංකාව ගෝලීය කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වීමට නම් ඔබ මෙම දැක්ම තුළ තම කාර්යභාරයක් මනාව ඉටු කළ යුතු වෙනවා. මෙතැන් සිට ඔබ ලබාගත් කුසලතා, විශ්වාසය සහ ගෝලීය දැක්ම සමඟින්, ඔබ ඔබේම අනාගතයට පමණක් නොව, අපගේ රටේ ප්‍රගතියට ද දායක වීමට සූදානම් විය යුතුයි.”

තවද, NCHS හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රාමනාන් මහතා මෙම අදහස්වලට සහය දක්වමින්, උපාධිධාරීන්ට ශාස්ත්‍රීය දැනුමෙන් ඔබ්බට විහිදුණු ප්‍රායෝගික කුසලතා වර්ධනයේ වැදගත්කම ද සිහිපත් කළේය. “ඔබ ඔබගේ ගමනේ මීළඟ අදියර සඳහා සූදානම් වන විට, සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ශාස්ත්‍රීය දැනුම මත පමණක් නොවන බව මතක තබා ගන්න. ප්‍රායෝගික ජීවිතයේදී ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, වෙනස්වීම්වලට අනුවර්තනය වීම සහ තර්කානුකූලව සිතීම යන කරුණු එක හා සමානව ම වැදගත් වෙනවා. මෙම මෘදු කුසලතා තුළින් හා නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව මඟින් ඔබට රැකියා ස්ථානයේදී මෙන්ම ජීවිතයේදී ද උසස් ස්ථානයක් අත්පත් කරදෙනවා.”

එසේම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මැතිතුමා දෙරට අතර පවතින දිගුකාලීන අධ්‍යාපන හවුල්කාරිත්වයේ වටිනාකම අවධාරණය කරන ලද්දේ, “ඕස්ට්‍රේලියාවේ නියෝජිතයෙකු ලෙස, ශ්‍රී ලංකාව සමඟ අපගේ අධ්‍යාපන හවුල්කාරිත්වය ශක්තිමත් වන අයුරු පිළිබඳ මම නිහතමානීව සතුටු වෙනවා. ශ්‍රී ලාංකිකයෝ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුළ නිරන්තරයෙන් ජයග්‍රහණ ලබා ගන්නවා. අපගේ රටවල් දෙකටම අනාගතය සඳහා අවශ්‍ය වන ලෝක මට්ටමේ කුසලතා දරුවන් විසින් වැඩිදියුණු කර ගැනීම සතුටට කරුණක්.” යනුවෙනි.

එපමණක් නොව, මෙම උත්සවයට ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අධ්‍යක්ෂ ආචාර්ය ඇඩම් බේකර් මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර මහතා සහ NCHS හි අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ. එමෙන්ම, උත්සවයේ කටයුතු ඉතා ගෞරවාන්විතව සහ උණුසුම් ලෙස මෙහෙයවනු ලැබූවේ ෆයිසාල් බොංග්සෝ මහතා විසිනි.

මෙම 2025 NCHS සහ ස්වින්බර්න් උපාධි ප්‍රදානෝත්සවය ශාස්ත්‍රීය ජයග්‍රහණ ඇගයීමට පමණක් සීමා වූවක් නොවීය. එනම්, එය වෙනස්වන ලෝකයක දියුණු වීමට අවශ්‍ය කුසලතා හා විශ්වාසය සහිත අනාගතයට සූදානම් උපාධිධාරීන් බිහි කිරීමේ NCHS සහ ස්වින්බර්න් හි සාර්ථක සහසම්බන්ධතාව සැමරීමක් ද විය.

NCHS ආයතනය සිය වැඩසටහන් සහ හවුල්කාරිත්වයන් පුළුල් කරමින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනය සහ ගෝලීය සම්බන්ධතා සඳහා මාවත් සැපයීමට කැපවී සිටියි. ශක්තිමත් පදනමක් සහ නවෝත්පාදන දැක්මක් ඇතිව, NCHS තුළින් බිහිවන උපාධිධාරීන් දේශීයව මෙන්ම විදේශීයව ද තම සුවිශේෂීත්වය විදහා දක්වනු ඇත.

වැඩි විස්තර සඳහා, 011 2 777 666 අංකයෙන් හෝ [email protected] වෙතින් අප හා සම්බන්ධ විය හැකිය. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අප හා සම්බන්ධ වෙමින් NCHS හි නවතම තොරතුරු සහ අවස්ථා පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාගත් හැකි අතර www.nchs.edu.lk වෙබ් අඩවිය ඔස්සේ වඩිදුර තොරතුරු විමසිය හැකිය.

…………………………………………………………………….

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *