Latest News Sinhala

කලාපීය සූර්ය සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ISA ආසියා-පැසිෆික් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සහාය ලබා දෙයි

පිරිසිදු බලශක්ති සහයෝගීතාවය සවිබල ගන්වන ප්‍රමුඛතම සංවිධානයක් වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදයේ දැවැන්ත මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර සූර්ය බලශක්තිය සංසදයේ (ISA) ආසියානු සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සැසිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙරිණි. සූර්ය බලශක්ති සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය මෙහිදී මැනවින් ඉස්මතු විය.

ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම අවස්ථාව විවෘත කළ අතර එහි සමාරම්භක දේශනය පවත්වමින් ඇය ‘බලශක්ති සමානාත්මකභාවයේ වැදගත්කම අවධාරණය කළාය. එහිදී ඇය විසින් ගැඹුරු කලාපීය සහයෝගීතාවය සහ තාක්ෂණය අන්තර්ගත වූ  ප්‍රවේශයක් පිළිබඳ සඳහන් කළ අතර  සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ කුඩා දූපත්  (SIDS) මෙන්ම පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා අවධානය යොමු කරමින් සහයෝගය ලබාදෙන මෙන්  ඉල්ලා සිටියාය.

“සූර්ය බලශක්ති පහසුකම් ගෝලීය වශයෙන් පුළුල් කිරීම සඳහා ISA විසින් දරන මෙම ප්‍රයත්නයන් අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ඔස්සේ මෙම කලාපයේ කුඩා දූපත්, සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වැඩි අවධානයක්  ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. මෙම රටවල් ඉහළ පිරිවැය, සීමිත ඉඩකඩ සහ ජාලක සීමාවන්ට මුහුණ දෙමින් සිටිනවා. එහෙත් සූර්ය බලශක්ති බෙදාහැරීම සහ  ගබඩා පදනම් කරගත් විසඳුම් පිළිබඳ ඉහළ හැකියාවක් ද දක්නට ලැබෙනවා.  ISA හි උපායමාර්ගික කරුණු හතර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ද අපි ලබා දෙනවා. එමෙන්ම සූර්ය බලශක්ති පුහුණුව සහ පර්යේෂණ සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ STAR මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද අපි කටයුතු කරමින් සිටිනවා.”

ISA සහ ශ්‍රී ලංකා රජය අතර හවුල්කාරිත්වය පිළිබඳ ගිවිසුම ද (CPF) මෙහිදී අග්‍රාමාත්‍යවරිය ඉදිරියේදී අත්සන් කළ අතර එය මෙම අවස්ථාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. බලශක්ති අමාත්‍ය ගරු ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ISA අධ්‍යක්ෂ ජනරාල් අශිෂ් ඛන්නා මහතා විසින් මෙම ගිවිසුම හුවමාරු කරගන්නා ලදී.  ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති යෙදවීම, මූල්‍යකරණය සහ ආයතනික ධාරිතාව කාර්යක්ෂම  කිරීම සඳහා උපායමාර්ගික කරුණු රැසක් මෙම ගිවිසුම මඟින් දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා මෙසේ සඳහන් කළේය. “2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීම සහ 2050 වන විට කාබන් උදාසීනත්වයට ළඟා වීම අපගේ ජාතික ඉලක්කයයි. ISA හි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාක්ෂියක් වන ISA SIDS වේදිකාව සඳහා සහාය දැක්වීමේ මෙම ගිවිසුම අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. පරිමාණ ආර්ථිකයන්ගෙන්, තරඟකාරී ලංසු තැබීම හරහා ගනුදෙනු පිරිවැය අවම කිරීමෙන් සහ වැඩිදියුණු කළ දැනුම හුවමාරු කිරීම මඟින් කුඩා දූපත්වලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම ගිවිසුම ඉවහල් වෙනවා. ISA හි ඉලක්කයන් ක්‍රියාවන් බවට පත්වීම මෙම හවුල්කාරිත්ව රාමුව තුළින් පැහැදිලිව වන අතර එය කලාපීය සහයෝගීතාවය වෙත පරිවර්තනීය බලපෑමක් සිදුකරනවා.”

මේ සම්බන්ධයෙන්  අදහස් එකතු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා මෙසේ ප්‍රකාශ කළේය.  “අපේක්ෂිත කාලයෙන් වසර 05කට පෙර පොසිල නොවන ප්‍රභවයන්ගෙන් නිපදවූ 50%ක විදුලි ධාරිතාවක් ලබා ගැනීම ඔස්සේ ඉන්දියාවේ බලශක්ති සංක්‍රමණ ගමන මැනවින් නිරූපණය කරන අතර සාමූහික අභිලාෂයන් සහ තීරණාත්මක ක්‍රියාමාර්ගයන් ඔස්සේ ලබා ගත හැකි දේවල් පිළිබඳ කදිම සාක්ෂියක් එමඟින් සපයනවා. ඉන්දියාව සහ ප්‍රංශය එක්ව නිර්මාණය කරන ලද   ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදය , විශේෂයෙන්ම SIDS සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල  සූර්ය බලශක්ති විසඳුම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බලගතු වේදිකාවක් බවට අද වන විට පත් වී  තිබෙනවා. ශ්‍රී ලංකාව 2030 වන විට  පුනර්ජනනීය බලශක්තිය මඟින් 70%ක ධාරිතාවක් ලබා ගැනීමට මග සකස් කරන අවස්ථාවක් තුළ මෙවැනි හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. මෙම ISA සහයෝගීතාවය යටතේ සූර්ය බලශක්තිය පිරිනමමින් නිවාස පමණක් නොවේ  අනාගතය ද  ආලෝකමත් කිරීමට අපට අවස්ථාව හිමි වෙනවා.”

ISA අධ්‍යක්ෂ ජනරාල් අශිෂ් ඛන්නා මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය. “ගෝලීය සූර්ය බලශක්ති ව්‍යාප්තිය තුළ ඉහළ විවිධත්වයක් සහ බෙදාගත් අභිලාෂයන් සහිත ආසියා සහ පැසිෆික් කලාපය විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. අපි අභිලාෂයන් ඔස්සේ ක්‍රියාවන් වෙත ගමන් කරන විට, ප්‍රායෝගික මෙන්ම ක්‍රියාකාරී න්‍යාය පත්‍රයක් අර්ථදැක්වීම සඳහා කාලෝචිත සහ උපායමාර්ගික වේදිකාවක් මෙම කලාපීය කමිටු රැස්වීම මඟින් ලබා දී තිබෙනවා. මෙම කලාපයේ ISA හි ප්‍රවේශය ‘පෞද්ගලික  අංශයේ සහභාගීත්වය සක්‍රීය කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍ය පහසුකම් යෙදවීම, ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ආයතනික හැකියාවන් සවිමත් කිරීම, සම්බන්ධීකරණය සහ දැනුම බෙදා ගැනීම සඳහා කලාපීය වේදිකාවන් පෝෂණය කිරීම සහ කාර්යක්ෂම බලශක්ති සංක්‍රමණයක් වෙනුවෙන් නවෝත්පාදන සහ තාක්‍ෂණය  සක්‍රීය කිරීම’ යන ප්‍රධාන කරුණු 04 පදනම් කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. අපි සෑම සාමාජික රටක් සමඟම සමීප හවුල්කාරිත්වයක් ගොඩනාඟා ගනිමින්, ආසියා-පැසිෆික් කලාපයට ගැළපෙන  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අනාගතයක් සකස් කිරීම සඳහා  ජාතික ප්‍රමුඛතාවන් කෙරෙහි අවධානය යොමුකළ සැලසුම් නිර්මාණය කරමින් ධනාත්මක බලපෑමක් සිදු කිරීමට කැපවී සිටිනවා.”

මෙම ව්‍යාපෘතීන් ඔස්සේ ළඟා කරගෙන ඇති ප්‍රතිඵල සහ ඒ පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

  • ISA සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම.
  • ෆීජි, කිරිබාති (Kiribati) සහ සොලමන් දූපත් සමඟ CPF හුවමාරුව සිදු කිරීම.
  • කඳුකර ප්‍රදේශවල සූර්ය බලශක්ති සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ICIMOD සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.
  • දූපත් රටවල  දේශගුණයට ඔරොත්තු දෙන බලශක්ති ප්‍රවේශයන් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදය  (ISA) සහ ලෝක බැංකුව විසින් නිර්මාණය කර ඇති  පරිවර්තනීය ඩිජිටල් මුලපිරීමක් වන ISA SIDS වේදිකාව සඳහා කුඩා දූපත් සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ගේ (SIDS) නායකයන්ගේ සහය පිරිනමමින්  ප්‍රතිඥාවක් සම්මත කිරීම.
  • SolarX APAC තරඟය හරහා ඩිජිටල් බලශක්ති විසඳුම්, දේශසීමා පුනර්ජනනීය වෙළඳාම සහ ආරම්භක නවෝත්පාදනය පිළිබඳ කලාපීය වශයෙන් සැසි පැවැත්වීම.

මෙහි මූලික සැසිය ජූලි 17 වැනි දින පැවත්වුණු අතර SIDS වේදිකාව ක්‍රියාත්මක කිරීම, තාක්‍ෂණය මත පදනම් වූ විසඳුම් පුළුල් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනික රාමු සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ සැසි ද පැවැත්වේ.

ආසියා-පැසිෆික් කලාපයේ  සූර්ය බලශක්ති ඉලක්කයන් කෙරෙහි සහයෝගීතාවයෙන් කටයුතු කරමින් මෙම පරිවර්තනය කෙරෙහි දැවන්ත මෙහෙවරක්  ISA මඟින් ඉටුකරන අතර විවිධ රටවල් සම්බන්ධ කරමින් සහ ප්‍රාග්ධනය යොදවමින් සැලසුම් ක්‍රියාවට නංවනු ලැබේ. පසුගියදා කොළඹ පැවති සැසිය ඔස්සේ ඒ පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ඉදිරිපත් විය.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *