Latest News Sinhala

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් එකතු  කිරීමේ වසර 20ක මෙහෙවර සමරයි

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවෙකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ, කාර්ය මණ්ඩලයේ සහ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් සිය 20 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදී.මෙරට සෞඛ්‍ය සේවා අංශය වෙත  පසුගිය දශක ද්විත්වය තුළදී නව අරුතක් එකතු කරමින් නවෝත්පාදනය, සවිමත් බව සහ අසමසම විශේෂඥතාව සම්මිශ්‍රණය වූ ඒකාබද්ධ විසඳුම් ලබා දීමේ පුරෝගාමියෙකු ලෙස ඔවුන් සිය ස්ථාවරය සාර්ථකව සනිටුහන් කරගෙන ඇත.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත කුලරත්න මහතා මෙසේ සඳහන් කළේ “ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තුළ නව පරිවර්තනයක් කිරීමේ දැක්ම සහිතවයි.ඒ අනුව පසුගිය වසර 20 තුළ, විවිධ අර්බුදවලට සාර්ථකව ප්‍රතිචාර දක්වමින්  රටේ සෞඛ්‍ය සත්කාර සහ  පහසුකම් පිළිබඳ ප්‍රමිතීන් නැවත අර්ථ ගැන්වීමට පුරෝගාමී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබුණා. අප ගොඩනගාගෙන ඇති විශ්වාසය, අපගේ නවෝත්පාදනයන් සහ අපගේ සේවාවන් ඔස්සේ අපට  බේරාගැනීමට ලැබුණු  ජීවිත ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.”

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භ කරන ලද්දේ ජාතියේ සෞඛ්‍ය සේවා පද්ධතියට විශාල හානියක් සිදුකළ 2004 වසරේ  විනාශකාරී සුනාමිය ව්‍යවසනය මධ්‍යයේය.එම ආපදා තත්ත්වය හමුවේ මෙරට රෝහල් පද්ධතිය දැඩි සේ බිඳ වැටුණු  අතර, සුදුසු යටිතල පහසුකම් නොතිබුණු  බැවින් ජාත්‍යන්තර ආධාරකරුවන්ගෙන් හිමිවූ උපකරණ භාවිත කිරීමට ද නොහැකි විය.එම අවස්ථාවේදී  ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විදෙස් ආධාරකරුවන් සහ දේශීය සෞඛ්‍ය සේවා අංශය අතර අත්‍යවශ්‍ය ඉංජිනේරු පාලමක් ලෙස මැදිහත් වී සිය සේවය ලබාදෙමින් උපකරණ සැපයීමෙන් ඔබ්බට ගමන් කරමින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ස්ථාපිත කිරීම දක්වා වූ දැවැන්ත මෙහෙවරක් සිදුකළේය. මේ ඔස්සේ ලාභදායී සෞඛ්‍ය සේවා විසඳුම් පිළිබඳ  වෙළෙඳපල ප්‍රමුඛයෙකු ලෙස ආයතනයේ ආරම්භය සනිටුහන් විය.

දිවයින පුරා රෝහල් 24ක් නවීකරණය කරන ලද ජාතික වෛද්‍ය තාක්‍ෂණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට 2007 දී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් විසින් සිය නායකත්වය  සපයන ලදී. ඔස්ට්‍රියානු මූල්‍ය ආධාර යටතේ  ඇරඹූ එම ව්‍යාපෘතිය යටතේ  CT ස්කෑනර් යන්ත්‍ර, ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, වීඩියෝ එන්ඩොස්කොපි පද්ධති, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර (ventilators)  සහ විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) වැනි උසස් තාක්ෂණයන් මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දුන් අතර, වැඩිදියුණු කළ සෞඛ්‍ය සේවාවන් සඳහා පදනම සකස් කළේය. එමෙන්ම 2012 වසරේදී, ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ කැතීටරීකරණ රසායනාගාර (catheterisation labs ) නවීකරණය කිරීමෙන්, අති නවීන කැත් රසායනාගාර (cath labs ) සහ echo-Doppler  ඒකකවලින් සන්නද්ධ කරමින්   ශ්‍රී ලංකාවේ හෘද සත්කාරය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නැංවීමට ද සමාගම කටයුතු කළේය.

2014 දී, සමාගම විසින් මෙම පහසුකම්වල පරිවර්තනීය වෙනසක් සිදුකළ සුවිශේෂි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර ඒ හරහා  ජාතික රුධිර බැංකුව තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව කලාපීය මට්ටමෙන් නව මධ්‍යස්ථාන 19ක්  ස්ථාපිත කිරීම සහ රුධිර බැංකු 96ක් අති නවීන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම වැනි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියත්මක කළේය. යුරෝ මිලියන 25ක මූල්‍ය දායකත්වයක් සමඟ දියත් කළ මෙම ව්‍යාපෘතිය රුධිර ගබඩා කිරීම සහ පාරවිලයන ප්‍රමිතීන් ඉහළ නංවමින් ජීවිත බේරා ගැනීමට සහ පහසුකම් සැපයීමට ඇති කාර්යක්ෂමතාවය මෙන්ම  විශ්වසනීයත්වය සහතික කළේය.

නවෝත්පාදනය සහ දේශීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ධනය සඳහා දක්වන කැපවීම ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය තුළ කැපී පෙනෙන වෙනස් ගුණාංගයන් ලෙස හැඳින්විය හැකිය. 2012 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරීත්වයක් අරඹමින් ශ්‍රී ලංකාවේ පළමු ජෛව වෛද්‍ය පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරය ස්ථාපිත කිරීම එම කැපවීම මැනවින් පිළිබිඹු කළ කදිම නිදසුනකි. එමඟින් සෞඛ්‍ය සේවා තාක්‍ෂණය පිළිබඳ දේශීය විශේෂඥතාව පෝෂණය කරමින් රටේ පළමු ජෛව වෛද්‍ය ඉංජිනේරු උපාධි වැඩසටහන සඳහා මාවත සකස් කළේය. කොවිඩ්-19 වසංගත කාල වකවානුව තුළදී ජංගම දැඩි සත්කාර ඒකකයක් නිර්මාණය කර පරිත්‍යාග කිරීමෙන් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය නැවත වරක් එහි වෙළෙඳපළ නායකත්වය පසක් කළේය.පැය 24ක් ඇතුළත ප්‍රවාහනය කළ හැකි සහ ක්‍රියාත්මක වන මෙම ඒකකය තුළින් අර්බුදය අතරතුර තීරණාත්මක සේවයක්  සැපයූ අතර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් එයට හිමිවිය.

තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ සමාගමේ ජයග්‍රහණ ද  වඩාත් කැපී පෙනෙන කරුණක් වේ. දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන  කාන්තාවන් සඳහාම සුවිශේෂී වූ ජර්මානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල නිම කිරීමේදී ද ප්‍රිමියම් ආයතනය  ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඉදිකිරීම් ප්‍රමාදයන්  සහ විවිධ අභියෝග හේතුවෙන් දශකයකට වැඩි කාලයක් අත්හිටවා තිබූ එම ව්‍යාපෘතිය  මාස 24 ක් ඇතුළත  නිම කිරීමට ප්‍රිමියම් ආයතනය පියවර ගත්තේය.එපමණක් නොව රෝහලේ වෛද්‍ය, රසායනාගාර සහ කාර්මික උපකරණවලින් 65% කට වඩා ප්‍රමාණයක් සැපයීමටද සමාගම සිය දායකත්වය සැපයුවේය.මෙහි වඩාත් දියුණු තාක්ෂණය යටතේ වන්ධ්‍යකරණ ඒකක (CSSD), රෙදි සේදීම සහ රෝහල් මුළුතැන්ගෙය ඇතුළු මධ්‍යම පහසුකම් ද මැනවින් ස්ථාපනය කර ඇති මෙම රෝහල ශ්‍රී ලංකාවේ නවීන සෞඛ්‍ය සේවා පහසුකම් සඳහා නව මානයක් සලකුණු  කළේය.

ඉහළ කීර්තියක් සහිත ගෝලීය සෞඛ්‍ය සේවා සන්නාම සමඟ ඇති සුවිශේෂී හවුල්කාරිත්වයන් හරහා නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව වෙත නව්‍ය තාක්ෂණයන් හඳුන්වාදීමට ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් කටයුතු කර ඇත. වත්මනේදී මෙරට පිළිකා රෝගී තත්ත්වයන් හඳුනාගැනීම් සහ රෝග විනිශ්චය සඳහා 80% ක් සක්‍රීය දායකත්වයක් සකුරා histopathology පද්ධතිය ඔස්සේ ලබාදෙයි.එමෙන්ම Fujifilm සහ Erbe මඟින් චිකිත්සක සහ රෝග විනිශ්චය ක්‍රියා පටිපාටි සඳහා වඩාත්ම දියුණු එන්ඩොස්කොපි (endoscopy)පහසුකම් සපයයි. එමෙන්ම Fresenius Kabi, Hettich සහ Werfen ආදී ජර්මානු සහ ඇමරිකානු තාක්ෂණයන් මගින් රුධිර එකතු කිරීම සහ සැකසීම පිළිබඳ විප්ලවීය වෙනසක් සිදු කර ඇති අතර එමඟින්  එකතු කරන ලද රුධිරයෙන් 95% කට වඩා ප්‍රමාණයක් දෛනිකව සැකසීම  සහතික කෙරේ.මීට අමතරව, ශල්‍යාගාර 300කට අධික සංඛ්‍යාවක් Shinva හි අති නවීන ආසාදන පාලන විසඳුම් මත විශ්වාසය තබන අතර,එය රටේ තීරණාත්මක සෞඛ්‍ය සේවා ඉල්ලීම් සපුරාලීම වෙනුවෙන්  පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වේ.

ඖෂධ අංශය සඳහා ද ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් හි දායකත්වය හිමිවී ඇති අතර එය දේශීය නිෂ්පාදනයේ අභිවෘද්ධිය වෙනුවෙන් තුඩු දී තිබේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව  (SPMC) වෙත තාක්ෂණික වශයෙන් ආරම්භයේදී  සහාය දුන් සමාගම, පසුව LAUGFS Holdings  සමඟ සහයෝගීතාවක් අරඹමින්  පෞද්ගලික අංශයේ වඩාත් දියුණු විෂබීජහරණ (aseptic) ඖෂධ කම්හල ඉදිකිරීමේ අභියෝගය භාර ගත්තේය. 2023 දී, ප්‍රිමියම් ආයතනය George Steuart සමාගම සමඟ හවුල්කාරිත්වයෙන් ඔවුන්ගේම ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන “Seregen” දියත් කළ අතර එය ශ්‍රී ලංකාවේ ඖෂධ ස්වාධීනත්වය ගොඩනැගීම කෙරෙහි සැලකිය යුතු පියවරක් විය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දශක දෙකක සේවා විශිෂ්ටත්වය සමරමින්, ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තවදුරටත් කැපවී සිටියි.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *