Latest News Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරයි. මෙමගින් විදේශ විනිමය මත ඇති වන පීඩනය ඉවත් වන අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දෙයි.

මෙම කර්මාන්තශාලාව යුනිලිවර් හි මෝල්ට් පදනම් කරගත් ආහාර පාන සන්නාමයන් වන Viva සහ Horlicks නිෂ්පාදනය කරනු ඇත. මෙම නිෂ්පාදන මීට පෙර මෙරටට ආනයනය කළ නිෂ්පාදන වේ. මෙම කර්මාන්ත ශාලාව උසස් තත්ත්වය, තිරසාර බව මෙන්ම කාර්යක්ෂමතාව සහතික කරන අති නවීන තාක්ෂණයෙන් සමන්විතය. එසේම මෙම කර්මාන්ත ශාලාව හරහා දේශීය රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා ප්‍රකාශ කරන ලද්දේ, “රට තුළ සිදු කෙරෙන මෙම ආයෝජනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සහ ආර්ථික සංවර්ධනය සඳහා යුනිලීවර් හි කැපවීම ශක්තිමත් කරනු ලබනවා. එසේම අප කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන සන්නාම පරාසය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට පෝෂ්‍යදායී නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දෙනවා. තවද, නිෂ්පාදනය දේශීයකරණය කිරීම හරහා රැකියා උත්පාදනය, විදේශ මුදල් පිටතට ගලායාම අඩු කිරීම මෙන්ම අනෙකුත් වෙළඳපල වෙත විභව අපනයනය සඳහා නිෂ්පාදන ධාරිතාව නිර්මාණය කරනු ලබනවා.” යනුවෙනි.

තවද, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා මෙසේ අවධාරණය කළේය. ‘‘මෙම පහසුකම අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන කැපවීම පිළිබඳ සාක්ෂියකි. ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කාර්මික භාවිතයන් ශක්තිමත් කිරීමේ ජාතික හේතුන් සඳහා නවෝත්පාදන කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ දායකත්වය ලබා දීමට අපි සූදානමින් සිටිනවා.”

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ අදහස් දැක්වීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් කරන ලද ආයෝජනය, ගෝලීය හොඳම භාවිතයන් හඳුන්වා දෙමින් ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය සඳහා විශාල පියවරක් වෙනවා. මෙම පහසුකම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, තාක්ෂණ හුවමාරුව සහ තිරසාර බව තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට අත්‍යවශ්‍යම කාලයකදී දායක වනු ලබනවා.”

මෙම නව කර්මාන්ත ශාලාව යුනිලිවර් ශ්‍රී ලංකා හි දේශීය නිෂ්පාදන කර්මාන්ත ශාලා අතරට එකතු වූ සිව්වැනි කර්මාන්ත ශාලාවයි. අනෙක් කර්මාන්ත ශාලා ත්‍රිත්වය හොරණ BOI කලාපය, ලින්ඩෙල් කර්මාන්තපුරය සහ ආගරපතන යන ප්‍රදේශවල පිහිටා ඇත. මෙම ආයෝජනය සමඟ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය නිෂ්පාදන ප්‍රමාණයන්ගෙ 98%ක් දේශීයව නිෂ්පාදනය කරනු ඇත.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *