2025 ජනවාරි 17 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ. ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ මෙරට ප්‍රමුඛතම ආයෝජක සම්මන්ත්‍රණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙම වසරේ පැවති සම්මන්ත්‍රණයේ අවධානය යොමු වූයේ 2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම වන අතර, වෙළෙඳපොල පුරෝකථනයන්, උපායමාර්ගික ආයෝජන ප්‍රවේශයන් සහ මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොල තුළ නිර්මාණය වන නව අවස්ථා පිළිබඳ එහිදී ගැඹුරින් විශ්ලේෂණය කෙරිණි.
මෙවර සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ ගරු කම්කරු අමාත්‍ය සහ ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසිනි.
මෙහි දී First Capital Holdings PLC හි උප සභාපති (ආයතනික මූල්‍ය) දේශානි රත්නායක මහත්මිය විසින් මෙහෙයවන ලද කමිටු සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති/සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ, බ්‍රැන්ඩික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා රචිනි රාජපක්ෂ සහ First Capital Holdings PLC හි ප්‍රධාන පර්යේෂණ හා උපායමාර්ග නිලධාරී දිමන්ත මැතිව් යන මහත්ම මහත්මීහු එම කමිටුවට ඇතුළත් වූහ.