Latest News Sinhala

Binance, ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සඳහා රු. මිලියන ~61.6ක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුව මගින් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හරහා අරමුදල් යොමු කෙරේ

ශ්‍රී ලංකාව පුරා දරුණු වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ප්‍රතිචාර වශයෙන්, ගෝලීය බ්ලොක්චේන් ප්‍රමුඛයා වන Binance හි සුභ සාධන අංශය වන Binance Charity, හදිසි මානුෂීය මෙහෙයුම් සහ කඩිනම් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් සඳහා සහාය වීමට රු. මිලියන ~61.6 (ඇ.ඩො. 200,000) ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. දැවැන්ත විනාශයකින් පීඩාවට පත් ජනතාවට ක්ෂණික සහන සැලසීම ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) හරහා යොමු කිරීමට නියමිතය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා මිලියනයකට අධික ජනතාවගේ ජීවිත අඩාල වී ඇති අතර, නිවාස ජලයෙන් යට වී, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට හානි සිදුවී, අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම ඇනහිට ඇත. දැඩි වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 200,000කට ආසන්න පිරිසක් දැනට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 1000කට අධික සංඛ්‍යාවක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් විදුලි සම්ප්‍රේෂණ මාර්ග සහ ට්‍රාන්ස්ෆෝමර් වලට සිදු වූ හානියත් සමඟ බිඳ වැටුණු විදුලිය, ජලය සහ සන්නිවේදන පහසුකම් ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන බව ද බලධාරීන් සඳහන් කර ඇත.

Binance Charity හි පරිත්‍යාගය, ආහාර, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක හා පිරිසිදුකාරක කට්ටල, වෛද්‍ය උපකරණ හා අවශ්‍යතා, හදිසි වෛද්‍ය ආධාර සහ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සහන සඳහා මෙන්ම පීඩාවට පත් වූ ජනතාව සඳහා මුදල් ආධාර සැපයීම සඳහා ද උපකාරී වනු ඇත. තවද මෙම සහයෝගය මගින් අවතැන් වූවන් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සහ සුළි කුණාටුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් ප්‍රදේශවලට සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් කඩිනම් කිරීමට අපේක්ෂා කෙරේ.

Binance හි APAC ප්‍රධානියා වන SB සේකර් මහතා සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. “දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ දැවැන්ත විනාශය ගැන අපි බෙහෙවින් කණගාටු වෙනවා වගේම ස්වභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාවට ඒ මොහොතේ අවශ්‍යම උපකාර ලබා දීමටත් බයිනෑන්ස් කැපවී සිටිනවා. ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සමඟ එක්ව කටයුතු කිරීම නිසා විශාල වශයෙන් පාඩු සිදු වූ පවුල්වලට අත්‍යවශ්‍ය සහන ලැබෙන බව අපිට සහතික විය හැකියි. අපේ හදවත් ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ නිරන්තරයෙන් බැඳී තියෙනවා වගේම ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වෙනතුරු ඔවුන්ට සහය වීමට අපි කැපවී සිටිනවා.”

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මහලේකම් ආචාර්ය මහේෂ් ගුණසේකර මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙලෙස පැවසීය. “දිට්වා සුළි කුණාටුව නිසා පෙර කවරදාකත් නොවූ තරමේ අභියෝගයකට අපේ ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා වගේම දහස් ගණනක් ජනතාවට හදිසි ආධාර ද අවශ්‍ය වී තිබෙනවා. ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අපි මේ මොහොතේ දී ජීවිත ආරක්ෂා කරමින් පීඩාවට පත් ජනතාවට යළි ස්ථාවර වීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබාදෙනවා. Binance Charity වෙතින් ලැබුණු මෙම පරිත්‍යාගය අපි අවංකවම අගය කරන අතර ඒ ලබාදුන් සහයෝගය අපි සිදුකරන කාර්යයන් ඉක්මනින් හා ඵලදායී ලෙස සිදුකරන්න අපිට උපකාරී වෙනවා. මේ මොහොතේ අවශ්‍ය සහන ලබා දීමට මෙන්ම වැඩිපුරම පීඩාවට පත් අයට යථා තත්ත්වයට පත්වීමට සහ නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා මෙවැනි ශක්තිමත් හවුල්කාරිත්වයන් අත්‍යාවශ්‍යයි.”

සුළි කුණාටුව මෙරටට දරුණු ලෙස බලපා ඇති අතර, එමඟින් විශාල ගංවතුර තත්ත්වයක්, යටිතල පහසුකම් බිඳවැටීම් සහ බොහෝ දෙනෙකු අවතැන් වී තිබේ. සැලකිය යුතු පුද්ගලයින් සංඛ්‍යාවක් තවමත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වල රැඳී සිටින නිසා සෞඛ්‍ය හා ආරක්ෂක ගැටළු ඇතිවීමේ අවදානමක් ද පවතී. එබැවින් මූලික සේවා, ආරක්ෂාව සහ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි උපකාර අවශ්‍ය වේ.

සහන කටයුතු සඳහා දායක වීමට අපේක්ෂා කරන ජනතාවට ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නිල පරිත්‍යාග මාර්ග හරහා හෝ ඔවුන්ගේ වෙබ් අඩවිය වන https://www.redcross.lk/ වෙත පිවිසීමෙන් පරිත්‍යාගයන් සිදු කළ හැකිය.

අවසානයි

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *