Latest News Sinhala

දේශීය කිරි කර්මාන්තයේ අනාගතය පිළිබඳ සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමය කනස්සල්ලෙන්

දේශීය කිරි කර්මාන්තය යනු, රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශීය ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින ප්‍රමුඛ කර්මාන්තයකි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින විදේශ විනිමය සංචිත ගැටලුව හමුවේ වූ ආර්ථික අර්බුධ හේතුවෙන්, දේශීය කිරි කර්මාන්තය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක මෙහෙයුම් කඩාවැටීමට ලක්ව ඇත. විශේෂයෙන්ම, ඉහළ යන මිල ගණන්, සත්ව ආහාර සහ විටමින් හිඟය, ඉන්ධන සහ පොහොර හිඟය, බඩඉරිඟු ආනයනය කිරීමේ දුෂ්කරතාවයන් හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ සංවර්ධනය විශාල ලෙස පසුබෑමකට ලක්ව ඇති අතර, මෙම තත්ත්වයෙන් යම්තාක් දුරකට හෝ අත්මිදීම සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලු සඳහා කඩිනම් පියවර ගන්නා මෙන් සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමය (AIDA) ඉල්ලා සිටියි. 

උද්ගතව ඇති තත්වය පිළිබඳ අදහස් දක්වමින්, AIDA හි වර්තමාන සභාපති බිනේෂ් පනන්වල මහතා මෙලෙස පවසා සිටියි.  “අපගේ සැපයුම් දාමය තුළ ක්ෂුද්‍ර  පෝෂක සහ විටමින් ඇතුළත්  ගුණාත්මක බවින් යුත් සත්ත්ව ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන්ම, බඩඉරිඟු සහ සයිලේජ් වැනි සත්ත්ව ආහාර සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම, කර්මාන්තයේ තිරසාර පැවැත්මට බෙහෙවින් ඉවහල් වනවා. කෙසේ වෙතත්, මෙම භාණ්ඩ ආනයන මත කර්මාන්තය යැපීම නිසාත්, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආනයනය සඳහා පනවා ඇති සීමාවන් නිසාත් කර්මාන්තයේ සංවර්ධනය විශාල ලෙස අඩාල වී ඇති බව කිව හැකියි.”

ගුණාත්මක බවින් ඉහළ සත්ව ආහාර නොමැතිකම, කිරි කර්මාන්තයේ සැපයුම් දාමය වෙත ඍණාත්මක ප්‍රතිලාභ රැසක් එක්කර ඇත. පෝෂණදායී, බඩ ඉරිඟු සහ සයිලේජ් වලින් සත්වයන්ට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක සහ විටමින් නොලැබෙන්නේ නම්, එය සත්වයාගේ ශාරීරික යහපැවැත්මට බලපාන අතර, එමඟින් කිරි නිෂ්පාදනයට විශාල බලපෑම් සිදුවේ. පශු වෛද්‍ය වෘත්තිකයන් විසින් ද, මෙම සතුන්ගේ ආහාර හිඟය සහ සැත්කම් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක සහ නිර්වින්දන වැනි ඖෂධ හිඟය හේතුවෙන්, සතුන්ගේ යහපැවැත්ම පිළිබඳ සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් සිටියි. 

AIDA හි උපදේශක සහ සාමාන්‍යාධිකාරී A.C.H  මුණවීර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ, අන් සෑම අංශයක් මෙන්ම දේශීය කිරි කර්මාන්තයද, පවතින ආර්ථික අර්බුධය හමුවේ විශාල ලෙස කඩාවැටීමකට ලක්ව ඇති බවයි.  කර්මාන්තයේ වර්තමාන පැවැත්ම පවත්වාගෙන යාමද අසීරු වී ඇති අතර,  ඉන්ධන, ගබඩා පහසුකම්, පොහොර සහ ආහාර හිඟය හේතුවෙන් නැවුම් කිරි සහ පිටි කිරි සඳහා ඇති ඉල්ලුම සපුරාලීම ඔවුනට අභියෝගකාරී බව හෙතෙම පවසා සිටියි.මේ සඳහා කඩිනම් විසඳුම් නොලැබුන හොත්, ඉදිරියේදී දේශීය කිරි නිෂ්පාදන ආශ්‍රිත මෙහෙයුම් විශාල ලෙස කඩාවැටීමකට ලක්වන බවත්, ඉන් විශාල ආර්ථික පාඩු සිදුවන බවත් ඔහු පවසා සිටියි. 

ශ්‍රී ලංකා රජය විසින් බඩඉරිඟු ආනයනය සඳහා අවස්ථානුකූලව බලපත්‍ර ලබා දී ඇත. කෙසේ වෙතත්, රටෙහි දැනට පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන්, බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලු රැසකට කර්මාන්තකරුවන් මුහුණපාන අතර, ආහාර අමුද්‍රව්‍ය  ආනයනකරුවන් සහ කිරි සමාගම් අදාළ ආනයනය ක්‍රමානුකූල අන්දමින් සිදුකරමින් කර්මාන්තයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා විශාල දෛනික අරගලයක් ගෙන යමින් සිටියි.

AIDA හි හිටපු සභාපති ලෙස සේවය කළ නිශාන්ත ජයසූරිය මහතා වර්තමාන අර්බුධය පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පවසයි.”ඩොලර් අර්බුධය හමුවේ, අද සමස්ථ කර්මාන්තයම විශාල ලෙස කඩාවැටීමකට ලක්ව තියෙනවා. පශු සම්පත් ගොවීන්, නිෂ්පාදකයින්, අමුද්‍රව්‍ය සපයන්නන් සහ බෙදාහරින්නන් යන සියලුම පාර්ශවයන්, පිරිවැය ඉහළ යාම සහ සම්පත් හිඟකම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ආර්ථික ප්‍රතිපත්තීන් හි කඩිනම් වෙනස්  කිරීම් සිදු නොකළහොත්, නැවුම් කිරි සහ කිරිපිටි යන දෙකෙහිම ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරියේදී කර්මාන්තය තවත් පීඩාවට පත් වනු ඇත.”

ගුණාත්මක ආහාර නොමැතිකම හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය විශාල ලෙස පහත වැටෙමින් පවතින අතර, මිල ඉහළ යාම හේතුවෙන් ආනයනික කිරි සැපයුම අඩුවෙමින් පවතී. දැනට පශු සම්පත් නඩත්තු කිරීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන ආහාර භාවිතා කරන නමුත්, පොහොර හිඟය සහ විවිධ ගැටළු හේතුවෙන් ආහාර සැපයුම අඩුවෙමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස කිරි කර්මාන්තය ඉදිරියට ගමන් කරන විට, පිටි සහ නැවුම් කිරි යන ද්විත්ව කණ්ඩායමට ඇති ඉල්ලුම සපුරාලීමට කර්මාන්තය තවදුරටත් අරගල කරනු ඇත. මෙහිදී අවධාරණය කළයුතු තවත් කාරණයක් වන්නේ සත්ත්ව ආහාර, අදාළ පෝෂණ ප්‍රමිතියට අනුකූල නොවන්නේ නම්, එය දළ වශයෙන් 900,000 අධික සතුන්ගේ සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ඇති කරනු බවයි. 

AIDA හි භාණ්ඩාගාරික ගාමිණී රාජපක්ෂ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියි.  “විදේශ විනිමය අර්බුධය, ඉන්ධන හිඟය, මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ සහ අමතර කොටස් ආනයනය කිරීමේදී ඇතිවන දුෂ්කරතා සහ විදුලි අර්බුධය අප කර්මාන්තයේ මෙහෙයුම් විශාල ලෙස අඩපණ කර තියෙනවා. මෙම තත්ත්වය ග්‍රාමීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වයන් කෙරෙහි ඍණාත්මක ප්‍රතිඵල රැසක් එක්කර තියෙනවා.ඉදිරි සති කිහිපය තුළ මෙම ගැටලු සඳහා පිළිතුරු නොලැබුණහොත් මෙහෙයුම් අඩපණ වීම හේතුවෙන් සමස්ථ කර්මාන්තයටම දැඩි හානි විය හැකියි.” 

“ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා මෙන්ම අපට නැවතත් කර්මාන්තයක් ලෙස ස්වයංපෝෂිත වීමට නම්, ඉන්ධන සහ ආහාර වැනි අමුද්‍රව්‍ය ලබා ගැනීම සහතික කරන පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි. එසේ නොකළහොත් දහස් ගණනකගේ රැකියා අහිමි වීම සිදුවනු ඇත.  එබැවින් දේශීය කිරි කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා ඒකාබද්ධ උපාය මාර්ගයක දැඩි අවශ්‍යතාවයක් වර්තමානයේ පවතිනවා. AIDA විසින්  ප්‍රධාන කර්මාන්ත පාර්ශවකරුවන් හා පවත්වන ලද පුළුල් සාකච්ඡා වලින් පසුව, ශ්‍රී ලංකාව සඳහා ඒකාබද්ධ සහ තිරසාර කිරි නිෂ්පාදන සංවර්ධන සැලැස්මක් සඳහා රජය සම්බන්ධ කර ගැනීමට දැන් සූදානම්.” මේ පිළිබඳ අදහස් දැක්වූ AIDA හි උප සභාපති අසෝක බණ්ඩාර මහතා පවසා සිටියි.  

පාරිභෝගිකයා ඇතුලු සමස්ත ප්‍රජාවගේම සුභසෙත උදෙසා දේශීය කිරි කර්මාන්තයේ ගැටලු සඳහා කඩිනම් පිළිතුරු සැපයීමේ දැඩි අවශ්‍යතාවක් වර්තමානයේ පවතී.  මේ හරහා වඩාත් තිරසාර කර්මාන්ත පද්ධතියක් ගොඩ  නැගීමට අපට හැකිවනු ඇත. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *