Latest News Sinhala

අභියෝග නොතකමින් පැල්වත්ත කිරි වෙතින් ස්ථාවර නිෂ්පාදනයක්

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ  දැවැන්තයා වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්,  වාර්ෂික “Lean Season of December-April” සමය තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්  පැල්වත්ත කිරි නිෂ්පාදන  සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, “පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීම නිසා පැල්වත්ත නිෂ්පාදනවල හදිසි හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවතක් සංසරණය වනවා. ඒ නිසා ම පැල්වත්ත සමාගමේ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව මම මෙහි දී අවධාරණය කිරීමට කැමති යි. සාමාන්‍යයෙන් සෘතුමය බලපෑම නිසා දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලවකවානුව කිරි නිෂ්පාදන කටයුතු තරමක් පහත වැටෙන සමයක්. මෙම කාලයේ දී එළදෙනුන්ගේ ගර්භණී චක්‍රය ක්‍රියාත්මක වන නිසා කිරි ලැබීම සාමාන්‍යයෙන් අඩු වෙනවා. මෙය පැල්වත්ත සමාගම වගේ ම මේ රටේ සමස්ත  කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ම වාර්ෂිකව මුහුණ දෙන සාමාන්‍ය තත්තවයක්. මෙම කාල වකවානුවේ දී පවා පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින ගොවීන්ට සහහයෝගය ලබා දීම අපි අඛණ්ඩව ම කරගෙන යනවා. ඒ වගේ ම මැයි සිට ඔක්තෝබර් දක්වා කාලයේ දී මෙම තත්ත්වය පහව යමින් වෙළඳපොළට හොඳින් කිරි සැපයෙන නිසා, එම කාලය තුළ කිරි ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ඉහළ මට්ටමක පවතින බවත් සිහිපත් කළ යුතු ම යි.” යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, මෙම කාල වකවානුව තුළ පැනනඟින කිරි අඩු වීම ඇතුළු අනෙකුත් අර්බුදයන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම නිර්මාණය කළ සැළසුම් නිසා මේ වන විටත් සිය නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සාර්ථකව ක්‍රියාත්මක වන බව යි.

 2020/21 වසර තුළ දී පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, මෙරට කිරි ගොවීන් 10,000 කට වැඩි පිරිසකට සහ ඒ ආශ්‍රිත පවුල්වලට සහයෝගය ලබා දෙමින්, සිය කිරි ගොවි පදනම 16% කින් වර්ධනය කර ගැනීමට සමත් විය. 2020/21 කාලයෙහි පැවති කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ පවා කිරි ගොවියන් සඳහා කරනු ලබන   ගෙවීම්  70% කින් වැඩි කිරීමට ද පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම විසින් කටයුතු කරන ලදී.  අභියෝගාත්මක  කාලවල දී ඊට මුහුණ දීම සඳහා පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සතු හැකියාව නිසා, එහි නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට එම සමාගම කටයුතු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් නිපැයුම් කාණ්ඩවල  නිෂ්පාදන කටයුතු දෙගුණ කරමින්, 2020/21 වසර ජයග්‍රාහී වසරක් බවට පත් කරගැනීමටත්, 2019/20 වසර සමග සැසැඳීමේ දී 2020/21 වසරෙහි දළ ලාභය 180% කින් වර්ධනය කරගැනීමටත් එම සමාගමට හැකි විය. එමෙන් ම 2020/21 වසර තුළ පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම වාර්තා කළ බදු පෙර ලාභය (PBT) 148% කින් වර්ධනය වී ඇති බව ද පැවසිය යුතු ම කරුණකි.

පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම පිළිබඳව

කිරි සැකසීම සහ සත්ව ආහාර හා කිරි නිෂ්පාදනය පිළිබඳව විශේෂඥතාවක් සහිත පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම ආරම්භ කෙරුණේ 2006 වසරේ දී වන අතර, එම සමාගම කිරි නිෂ්පාදන ආනයනය සඳහා මෙරට  විදේශ විනිමය පිටරටවලට ඇදී යාම වළැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී දේශීය සන්නාමයකි. සිය නිෂ්පාදන  කටයුතු සඳහා ගුණාත්මක එළ කිරි ලබාගැනීමේ අරමුණින් පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම මෙරට කිරි ගව පාලනය දියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර යි. ISO 22000:2018 තත්ත්ව සහතික ලත් සමාගමක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, වර්තමානය වන විට ශ්‍රී ලාංකේය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන නවීනත ම කිරි නිෂ්පාදනාගාරය  (ඩෙන්මාර්කයේ භාවිතවන නවීන තාක්ෂණය ආශ්‍රිතව නිර්මාණය කර ඇති.) හිමි සමාගම යි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *