Latest News Sinhala

Startup Genome විසින් 2021 වර්ෂය සදහා ගෝලීය නව්ය ව්යවසායක පරිසර පද්ධති වාර්තාව එළි දක්වයි

ගෝලීය නවෝත්පාදන ප්‍රතිපත්ති උපදේශක සහ පර්යේෂණ සමාගමක් වන Startup Genome විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  සහයෝගයෙන් යුතුව  2021 වර්ෂය සදහා  ගෝලීය නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධති වාර්තව දියත් කරන ලදී.මෙහි ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතිය පිලිබඳ  ප්‍රධාන කරුණු ඇතුළත් වූ අතරම ශ්‍රී ලංකාවේ තාක්ෂණ ව්‍යාපාර  සදහා වලංගු අධ්‍යනයක් ලෙස ද හදුනා ගත හැකිය. වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන මෙම වාර්තාව මඟින් ව්‍යවසායකත්ව නවෝත්පාදන පරිසර පද්ධති 280 ක් සහ නව්‍ය ව්‍යවසායක ව්‍යාපාර  මිලියන 3 ක් විශ්ලේෂණය කරන අතර  ලොව ප්‍රමුඛ පෙළේ නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධති 140 පිලිබඳ විස්තර පුළුල් ලෙස වාර්තාවේ ඇතුළත්  කර තිබේ.

2016 වසරේ සිට Startup Genome සහ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව දේශීය නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතිය දියුණු කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටී. 2021 ඉදිරිපත් කල ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධති වාර්තාව ඔස්සේ කුසලතා පෝෂණය කිරීම, ව්‍යාපාරික වාතාවරණය වැඩි දියුණු කිරීම සහ දිගු කාලීන ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ගනු ලබන පියවරයන්ගෙන් නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතිය වේගයෙන් පරිණාමය වන බව  අධ්‍යනය කල හැකිය.

“Bang for Buck” නිර්ණායකයට  අනුව ශ්‍රී ලංකාව,ආසියාවේ පළමු රටවල් 30 අතරට ඇතුළත් වේ. එමෙන්ම මෙම වාර්තාවට අනුව කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කර ඇති අතර  දිවයින පුරා නව තාක්‍ෂණ උද්‍යාන පහක් පිහිටුවීමට රජයේ අනුමැතිය ලබා දී තිබේ.

මෙම වාර්තාව මගින් 2021 වන විට ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතියේ වටිනාකම ඩොලර් මිලියන 132 යන්න ගණනය කර ඇත.නව්‍ය ව්‍යවසායකයන් සදහා මූලික අවධියේ ලැබෙන ප්‍රාග්ධනය  ඩොලර් මිලියන 26ක් ලෙස වාර්තාවේ ඇතුළත් වේ. තවද මෘදුකාංග ඉංජිනේරු වැටුප ඇමරිකානු ඩොලර් 6000 වන අතර series A ආයෝජන වටයෙහි මධ්‍යන්‍ය අගය  (Median Seed Round) ඇමරිකානු ඩොලර් මිලියන 1.06 වේ. 

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතාගේ අදහස්  මෙසේය.” නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතිය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව, පරිපූර්ණ හා විශ්වාසදායක ප්‍රවේශයක් ක්‍රියාත්මක කරමින් සිටී. අති නවීන තාක්‍ෂණ උද්‍යාන තුළින් යටිතල පහසුකම් සැපයීම, නව්‍ය ව්‍යවසායකයන්ට   හිතකාමී නීති සහ ප්‍රතිපත්ති, නව්‍ය ව්‍යවසායක අරමුදලක් ඇති කිරීම, විදේශ ව්‍යවසායකයින්ගේ වීසා බලපත්‍ර ලබා දීම, ප්‍රාදේශීය නව්‍ය ව්‍යවසායක මධ්‍යස්ථාන සඳහා පහසුකම් සැලසීම, නව්‍ය ව්‍යවසායක   පරිසර පද්ධතිය  තුළ ක්‍රියාත්මක කෙරෙන මුලපිරීම් කිහිපයක් ලෙස හදුනා ගත හැකිය.”

“නව්‍ය ව්‍යවසායක ගෝලීය පරිසර පද්ධති වාර්තාවේ සදහන් කරුණු වලට අනුව,  ගෝලීය වසංගතය හමුවේ ශ්‍රී  ලංකාවේ නව්‍ය ව්‍යවසායක  පරිසර පද්ධතියේ සමස්ත වර්ධනය හා ක්‍රියාකාරිත්වය කිසියම් බලපෑමකට ලක් වී තිබේ.කෙසේ වෙතත් ICTA ආයතනය, Startup Genome සමග එක්ව දේශීය හා ගෝලීය සංවිධාන සමග සහයෝගීතාවයකින් යුතුව නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතිය සවිබල ගැන්වීම හා වේගවත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ දැක්ම සාක්‍ෂාත් කර ගැනීම සඳහා  දේශීය නව්‍ය ව්‍යවසායකයින්  සඳහා ප්‍රමුඛතාවය ලබා දීම අත්‍යවශ්‍යය වන බව ” ICTA හි සභාපති ඕෂධ සේනානායක පැවසීය.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර ව්‍යාපාර,ආයතනික බදු මගින් නිදහස් කර ඇති අතරම, පෞද්ගලික සමාගම් සඳහා වසර 5 සිට 10 දක්වා බදු සහනයක් ලබා දෙයි.  විදේශිකයන් සඳහා බදු අය කිරීමක් නොමැත. නව්‍ය ව්‍යවසායකයන් සදහා හිතකාමී රජයක් බිහි කිරීම උදෙසා, 2020 ඔක්තෝම්බර් මාසයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රසම්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.  තවද 2021 දී ඩිජිටල් Nomad වීසා ක්‍රමය හඳුන්වා දීමට සුදානම් වන   අතර එමඟින් එක් වසරක් සපිරෙන තුරු ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ තම සේවාලාභීන්  උදෙසා      සේවය ලබා දීමට විදේශීය පුද්ගලයින්ට හැකියාව ලැබේ.

2024 වන විට නව්‍ය තාක්‍ෂණ ව්‍යාපාර 1,000 ක් පිහිටුවීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ICTA සහ  Startup Genome, විවිධ  රජයේ ආයතන සහ බොහෝ  සංවිධාන සමඟ ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *