Latest News Sinhala

කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි.  මෙය ජාතික මෙහෙවරක් හා වගකීමක් ලෙසින් සළකමින් කෝවිඩ්වලට එරෙහිව සටන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයක්  ලෙසින්  සිංහ සහ ලියෝ සමාජ  බහු දිස්ත්‍රික් 306 විසින් රටේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම සඳහා කෝවිඩ් සහන අරමුදලක් පිහිටුවීමට පියවර ගන්නා ලදි. “දහසක් පැතුම්” යන තේමාව පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය වෛද්‍ය හා රසායනාගාර උපකරණ පරිත්‍යාග කිරීම සඳහා  රුපියල් මිලියන 150ක අරමුදලක් රැස් කිරීම මූලික අරමුණයි.

දෛනික PCR පරීක්ෂණ වර්තමානයේ සිදු කරන ධාරිතාවයෙන්  30%කින් ඉහළ නැංවීම, ශ්‍රී ලංකාව පුරා පවතින PCR රසායනාගාර ජාලය වැඩි කිරීම කිරීමට සහය දැක්වීම සහ රට තුළ පවතින නව කෝවිඩ් ප්‍රභේදයන් පිළිබදව සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීම මෙම පරිත්‍යාගය සිදු කිරීම තුළින් අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු ජාත්‍යන්තර සභාපති සිංහ මහේන්ද්‍ර අමරසූරිය දහසක් පැතුම් ව්‍යාපෘතිය පිළිබදව මෙසේ සිය  අදහස් දක්වා සිටියේ ය. “මෙවන් අභියෝගාත්මක කාල සීමාවක් තුළ  මහජන සෞඛ්‍ය පද්ධතියේ  උන්නතිය වෙනුවෙන් සහය දැක්වීමට හැකි වීම පිළිබදව අපි සැබැවින්ම ඉතාමත් සතුටට පත් වෙනවා. සෞඛ්‍ය සේවා පද්ධතියට සහය දක්වනු වස් රුපියල් මිලියන 150ක අරමුදලක් රැස් කිරීම මෙම  ව්‍යාපෘතියේ අරමුණයි. එමගින් වසංගත තත්වය හමුවේ හොදින් සන්නද්ධව මුහුණ දීමට අපේ රටට හැකියාව ලැබෙනවා. මෙම අභියෝගාත්මක කොවිඩ් තත්වය පරාජය කිරීම සඳහා ජාතියක් ලෙසින් එකතු වී මෙම වටිනා කර්තව්‍යය වෙත දායකත්වය ලබා දෙන ලෙස අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.”

සමස්ත ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ දරුවන් හට  දීප්තිමත් අනාගතයක් උදා කර දීමේ  දහසක් පැතුම් මත පදනම් වූ  දහසක් පැතුම් ව්‍යපෘතියේ අරමුණ වන්නේ කෝවිඩ් වසංගත තත්වයෙන් රට බේරා ගැනීම සහ ජනතාවගේ ජීවිත බේරා ගැනීමයි. මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය විධිමත් කිරීම සඳහා වෛද්‍ය හා විද්‍යාගාර උපකරණ මිල දී ගැනීමට රුපියල් දහසක (රු. 1000) පරිත්‍යාගයක් කිරීමෙන් මෙම වටිනා කර්තව්‍ය‍යේ කොටස්කරුවකු වන ලෙස ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝ සාමාජිකයන් සමස්ත මහජනයාට ආරාධනා කර සිටියි.

ඒ වෙනුවෙන් නම් කරන ලද බැංකු ගිණුම වෙත අරමුදල් පරිත්‍යාග කළ හැකි අතර Online  ක්‍රමයෙන් ද මුදල් බැර කළ හැකිය. https://www.lionsmd306.org/donation/

ජාත්‍යන්තර සිංහ සමාජය මිලියන 1.4කට අධික සාමාජිකයන් සංඛ්‍යාවකින් සහ 46,000කට ආසන්න සංගම් ප්‍රමාණයකින් ලොව පුරා රටවල්  200කට එහා යමින් පැතිරුණු  ලොව විශාලතම සේවා සංගම් සංවිධානය වේ. ජාත්‍යන්තර සිංහ සමාජ බහුවිධ දිස්ත්‍රික් 306 (ශ්‍රී ලංකාව) මෙම ගෝලීය සංවිධානයේ පාර්ශවකරුවකු වන අතර සංගම් 550කට අධික ප්‍රමාණයක් සහ සමාජිකයන් 15,000කින් සමන්විත වේ. සිංහ සමාජයේ තරුණ අංශය වන ජාත්‍යන්තර ලියෝ සමාජය 9000කට අධික ලියෝවරු  ලංකාවේ සිටිති. සිංහ සහ ලියෝ බහුවිධ දිස්ත්‍රික් 306 දශක ගණනාවක් පුරා මෙරට ප්‍රජා සත්කාරක අවශ්‍යතාවන් සපුරාලන වැඩසටහන් හි ප්‍රමුඛතාව ගෙන කටයුතු කරයි.  කෝවිඩ් වසංගතය කාලය පුරා සිය ප්‍රජාව වෙනුවෙන්  විවිධ  පරිත්‍යාග කිරීම් සහ ස්වේච්ජා ක්‍රියාකාරකම්  සිංහ සහ ලියෝ සාමාජිකයන්  විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *