Latest News Sinhala

දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්

සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් අපේ රට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.  සෞභාගයේ දැක්ම සංකල්පය මගින් අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු ජනාධිපති කාර්ය සාධක බලකායේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ දේශීය කර්මාන්තකරුවන් හට අපගේ වටිනා විදේශ විනිමය භාණ්ඩ ආනයනය සදහා අවභාවිතා නොකොට අප විසින්ම දේශීයව ස්වයං පෝෂණය විය යුතුය යන උදාර සංකල්පය යටතේ ටයිල් නිෂ්පාදනයේ නවතම සාමාජිකයා වන මැක්ටයිල්ස් ආයතනය මෙම දේශීය කර්මාන්තයේ පුනරුදයට සහභාගී වී ඇත.

දැනට 50% – 60% දක්වා දේශීය කර්මාන්තකරුවන් අප රටේ ඉල්ලුම සපුරාලන අතර මෑතක් වන තුරු දේශීය වෙළෙදපොලේ ඉල්ලුම සපයනු ලැබුවේ ආනයනය කරන ලද ටයිල්වලිනි. අනාගතයේ දී මැක්ටයිල්ස් ආයතනය සහ ටයිල් නිෂ්පාදනයට එළැඹි නව කර්මාන්ත ආරම්භ කිරීමට දැවැන්ත මුදල් ආයෝජනය කරමින් තවත් දේශීය ව්‍යවසායකයින් ලහි ලහියේ වැඩ ආරම්භ කර සිටීම ඉතාමත් සතුටට කරුණකි. මැක්ටයිල්ස් ආයතනය නුදුරු අනාගතයේදී අපගේ ධාරිතාවය දෙගුණයකටත් වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන අතර එය සදහා අවශ්‍ය කරන නවීනතම යන්ත්‍රෝපකරණ ඉතාලියේ SACMI සමාගම සහ Systems සමාගමෙන් අපි ඇණවුම් කර ඇත්තෙමු යැයි ටයිල් නිෂ්පාදනය පිළිබද, අද ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම තාක්ෂණික විද්‍යාඥයකු වන මැක්ටයිල්ස් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා වන රන්ජිත් මුනමල්පේ මහතා පැවසීය. එතුමා මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමයේ ටයිල් නිෂ්පාදනය හදාරන ලද ශ්‍රී ලාංකිකයෙකි. ඉතාලිය, ස්පාඤ්ඤය වැනි ටයිල්  නිෂ්පාදනයේ හිනිපෙත්තටම සංවර්ධනය වී ඇති රටවල්වල නිපදවනු ලබන ටයිල්වලට සමානව හෝ ඊටත් වඩා අනර්ඝ තත්වයේ ටයිල්ස් අපගේ රටේ නිෂ්පාදනය කළ හැකි බව ඔහු පැවසීය. එයට හේතුව වන්නේ, අප රටේ අමුද්‍රව්‍ය වන බෝල්ක්ලේ, ෆෙල්ස්පා, පිරිසිදු කළ සිලිකා, කෙයෝලින්, කැල්සයිට්, ඩොලමයිට් අද ලෝකයේ අන් රටවල් වල ලබා ගත හැකි ඛනිජවලට වඩා ඉතාමත් හොද ගුණාත්මක බවින් සහ ප්‍රමිතීයෙන් ඉතාමත් ඉහළ වීමයි.

කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්තුමා සහ කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂක මඩුල්ල, අනෙකුත් සියලුම රජයේ නිලධාරින් දේශීය කර්මාන්ත පුනරුදයට ලබාදෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය සහ අගය කල යුතු බව මැක්ටයිල්ස් ආයතනයේ සමාන්‍යධිකාරී තජිත පෙරේරා මහතා ස්තුති පුර්වකව ආවර්ජනය කළේය.

මෑත කාලීනව රටේ ටයිල් හිඟයක් පැවතුන ද නුදුරු අනාගතයේ දී අපගේ දැනට ඇති දේශීය නිෂ්පාදන හා නවක ව්‍යවසායකයින් මෙම කර්මාන්තයට එකතු වීමත් සමග මෙම තත්වය වෙනස්ව න බව සහ 2022 වසරේදී මැක්ටයිල්ස් ආයතනය තමන්ගේ නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මැක්ටයිල්ස් ආයතනයේ  විධායක මෙහෙයුම් නිළධාරී  අහමඩ් ශාෆි මහතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළේය. මැක්ටයිල්ස් පවුලේ සියලුම සාමාජිකයින් ඉතාමත්ම කැපවීමෙන් ආර්ථික සොල්දාදුවන් වශයෙන් අපගේ නිෂ්පාදන දේශීය පරිභෝගිකයන්ට ඉතාමත් සාදාරණ මිලකට ලබාදීමට පුරෝගාමීව කටයුතු කරමින් සිටියි. 

අද පවතින තාවකාලික හිඟය අතරතුර දී රුපියල් 1500, රුපියල්  2000 හෝ ඊටත් වැඩියෙන් මිල ගණන්වලට යම්කිසි කණ්ඩායමක් විකිණීමට වෙර දැරුව ද, තවත් කණ්ඩායමක් රටේ දියුණුව නොතකා නැවත වාරයක් මුහුදට අතපා ආනයනයට ගොදුරු වී අපේ විදේශ විනිමය රටින් පිටමං කිරීමේ ව්‍යාපෘතියේ නියැලී ඇති බව සමාජ මාධ්‍ය හා අනිකුත් මාධ්‍යය ඔස්සේ ජනතාවට වැරදි චිත්‍රයක් මවා පාමින් දේශීය කර්මාන්තයේ පුනරුදයට අකුල් හෙලීමට සහ කූට දේශපාලන වාසි ලබා ගැනීම සදහා ජනතාව නොමග යැවීමට මහා ප්‍රයත්නයක් දරන බව පෙනී යයි.   

එහෙත් අඩසිය වසරක් දේශීය කර්මාන්තයේ යෙදී සිටිමින් ගොඩනැගිලි අංශයේ ප්‍රමුඛයෙක් වන මැක්සන්ස් සමුහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයක් වන මැක්ටයිල්ස් සමාගම අපගේ දේශීය නිෂ්පාදන දේශීය පාරිභෝගිකයාට ඉදිරිපත් කරන්නේ ඔවුන්ට දැරිය හැකි සාධාරණ මිලකටය. මෙය සම්බන්ධයෙන් අපගේ පුවත්පත් දැන්වීම්වල මිල ගණන්  ද සඳහන් කර දැන්වීම් මාලාවක් අපි සතිපතා පළ කරනු ඇත. අපගේ ධාරිතාවය අනාගතයේ වැඩිවීමත් සමග දැනට පවතින මිල ගණන් තවදුරටත් අඩු කිරීමට හැකි වනු ඇතැයි මැක්ටයිල්ස් ආයතනයේ සාමාන්‍යධිකාරී – (විකුණුම් හා අලෙවි) නිරෝෂන් පනන්වල මහතා පැවසීය. 

රටේ සංවර්ධනය සදහා අමාරුවෙන් වුව ද සියලුම ක්ෂේත්‍රවල කර්මාන්ත, කෘෂිකර්ම සහ අනෙකුත් සේවාවල දී දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා දෙනු ලබන මග පෙන්වීමට අපගේ කෘතඥතාවය රජයට පළකර සිටිමු.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *