Latest News Sinhala

ඩීමෝ අඛණ්ඩව අට වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් ජයග්‍රාහී අට වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වුණු මෙම සම්මාන උළෙල තුලදී ඩීමෝ විසින් සම්මාන රැසක් දිනා ගන්නා ලදී. මේ තුළින් පෙන්නුම් කරන්නේ ඩීමෝ ආයතනය සිය සේවයකින් වෙනුවෙන් නිර්මාණය කර ඇති ආයතනික සංස්කෘතියේ විශිෂ්ටත්වය යැයි කිව හැකිය. 

මෙවර සම්මාන උළෙල තුලදී ඩීමෝ විසින් දිනා ගත් සම්මාන අතරට “Best Workplaces in Sri Lanka 2020″ සම්මානය,   “Excellence in People Initiatives – Inspiring” සම්මානය,  “Best PLC to work for in Sri Lanka 2020” සහ  “Best Workplace in Extra Large Enterprise Category in Sri Lanka 2020” සඳහා වූ රන් සම්මාන ඇතුළත් වේ.

පසුගිය දශකයක කාලය තුළ ඩීමෝ විසින් සිය ආයතනික සංස්කෘතිය, සියලුම මට්ටම්වල සේවයකින්ට වඩාත් කාර්යක්ෂමව ව්‍යාපාර ඉලක්ක වෙත ගමන් කල හැකි ධනාත්මක පරිසරයක් බවට පත් කිරීමට විවිධ උපායමාර්ග රැසක් ක්‍රියාත්මක කරන ලදී.  තවද ඉහළ විනිවිදභාවයකින් යුත් සන්නිවේදනය දාමයක්, කාර්යක්ෂම නායකත්වය,  කැපවීම, අධිෂ්ඨානය, ගෞරවය, පිළිගැනීම සහ සුහදත්වය යන මෙම සියලුම සාධක සඳහා ඉහළම වටිනාකමක් ලබා දෙමින් සිය සේවකයින් වඩාත් විශ්වාසවන්ත සහ පක්ෂපාතී පිරිසක් බවට පත් කිරීමටත්, ඒ තුළින් යහපත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමටත් ඩීමෝ නිරතුරුවම කැප වෙමින් ක්‍රියා කරයි. 

මෙම සම්මාන ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ විවිධ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ආයතනයේ ඉහළ කර්යසාධනයක් සහිත සේවකයින් එම අරමුණු කෙරෙහි විධිමත් ලෙස මෙහෙයවීම, ඔවුන්ට අඛණ්ඩ සහාය ලබා දීම, ඔවුන්ව කාර්යයන් උදෙසා ධනාත්මක ලෙස පෙළඹවීම සහ ඔවුන්ව අගය කිරීමයි. මීට වසර 80 කට පෙර ඩීමෝ සිය මෙහෙයුම්  මෝටර් රථ ක්‍ෂේත්‍රයෙන්  ආරම්භ කළද, වර්තමානය වන විට,  සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍රයන් ඉංජිනේරු, පාරිභෝගික භාණ්ඩ, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ කාර්මික විසඳුම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දක්වා විහිද ඇත. මෙහිදී මෙතෙක් දුර සමාගමට දේශීයව මෙන්ම විදේශීයව ඉහළ ව්‍යපාර ප්‍රගතියක් අත්පත් කරගැනීම උදෙසා සිය කාර්යක්ෂම සේවක මණ්ඩලය මනා අත්වැලක් වූ බව කිව හැකිය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි  සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “අප සෑම විටම අපගේ ප්‍රධානතම වත්කම වන අපගේ සේවකයින්ට ඔවුන්ගේ උපරිමය ආයතනය උදෙසා ලබා දීමට පොළඹ වනුයේ, ඔවුන්ගේ වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ වර්ධනය උදෙසා අවශ්‍ය සියලුම ප්‍රතිලාභ නිසි ලෙස ලබා දෙමින්. ඩීමෝ අප අනෙකුත් සන්නාමයන්ගෙන් වෙනස් වන්නේ අප සියලුම වෘත්තීය කාර්යයන් අප සේවකයින්ට වඩාත් ප්‍රීතිමත්ව සහ ප්‍රතිලාභ ගෙන දෙන අන්දමින් සිදු කිරීමට අවශ්‍ය සේවා පරිසරය නිර්මාණය කිරීම හේතුවෙන්.  මෙම සම්මාන තුළින් පෙන්නුම් කරන්නේ අප විසින් සියලුම සේවකයින් සඳහා අඛණ්ඩව ලබා දුන් නිවැරදි මඟපෙන්වීමේ ප්‍රථිපල ලෙස හැඳින්වීමට මා කැමතියි.  අවසාන වශයෙන් මෙම සම්මාන දිනා ගැනීමට හැකිවීම පිළිබඳ මා සතුටට පත්වනවා මෙන්ම මෙහි සියලුම ගෞරවය මාගේ සේවක මණ්ඩලයට හිමි වනවා”.

දශක ගණනාවක් පුරා සිදු කෙරුණු සමාගමේ විවිධාංගීකරණ ප්‍රයත්නයන් තුළ, ඩීමෝ තවත් අවධානයට යොමු කළ කාරණාවක් වනුයේ සිය සේවක මණ්ඩලයේ නිපුණතා ඔපනැංවීමයි. මේ හරහා ඕනෑම ආර්ථික හෝ සමාජීය තත්ත්වයකට මුහුණ දෙමින් ව්‍යාපාර මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන යාමට අවශ්‍ය දක්ෂ සේවක මණ්ඩලයක් ඩීමෝ හා අත්වැල් බැඳගෙන සිටී. තවද පසුගිය සිව් වසරක කාලය තුළ GPTW  සංස්කෘතික විගණනනය තුළ, ඩීමෝ සමාගම ඉදිරියෙන්ම සිටින්නේ  “අඛණ්ඩව සංවර්ධනය වෙමින් පවතින’ යන ක්ෂේත්‍රයේ ඉහළම ලකුණු හිමි කර ගැනීමෙනි.

හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මාන (Great Places To Work) උළෙල ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවක හොඳම සේවා ස්ථාන අධ්‍යයනය කිරීම හා හඳුනා ගැනීම සිදු කරන ප්‍රමුඛ සම්මාන උළෙලකි.  

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *