Latest News Sinhala

“IIT රැකියා දිනය” මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි.

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාල වේදිකාවක් හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව මෙම උත්සවය අන්තර්ජාලය හරහා පැවැත්වීමට කටයුතු කෙරිණි.

IIT Careers Day  මගින් සෑම වසරක් පාසාම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සහ බහුජාතික සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛතම තොරතුරු සන්නිවේදන ආයතන සහ තොරතුරු සන්නිවේදන නොවන සංවිධාන වලට මෙරට IIT උපාධි අපේක්ෂකයින් හමුවීමට අවස්ථාව උදාකර දෙයි. මෙම උත්සවය සංවිධානය කෙරෙනුයේ ඉහළ පෙළේ සමාගම්  සමඟ IIT සිසුන්ට එකට එක්ව එම සමාගම් සමඟ කටයුතු කිරීමට, ඒවායේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට සහ  IIT උපාධි වැඩසටහනේ කොටසක් වන වසරක සීමාවාසික පුහුණුව ලබා ගැනීමට වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙනි. මේ සඳහා සහභාගීවන සමාගම්වල පුළුල් විෂය ක්ෂේත්‍රයන් මැනවින් හඳුනාගෙන සිසුන්ට තම වෘත්තීය ආරම්භ කිරීම සඳහා තමන්ට සරිලන අකාරයේ කැමති සමාගමක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ. එමගින් අදාළ සමාගම් වලට මෙරට හොඳම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා ව්‍යාපාරික උපාධිධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටත් සමාගම්වල විවිධ රැකියා අවශ්‍යතා සඳහා ගැලපෙන අපේක්ෂකයින් තෝරාගෙන ඔවුන් නියමාකාරයෙන් හසුරවා ගැනීමටත් මෙමගින් ඉඩ සැලසේ.

IIT Virtual Careers Day 2020 හිදී  Microsoft Team හරහා පවත්වන ලද සැසියේදී සමාගම්වලට IIT සිසුන් සමඟ එක්ව ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නේය. මෙහිදී සෑම සමාගමකටම තමන් පිළිබඳ සිසුන්ට පැහැදිලි කිරීමට කාල සීමාවක් ලබා දුන් අතර සිසුන්ට සමාගම සමග එක්ව ක්‍රියාකාරකම් කිරීමේ අවස්ථාවන් හා සිසුන්ට අවශ්‍ය වැඩි දුර තොරතුරු සහ ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාවද හිමිකර දුන්නේය.  Pearson Lanka, Dialog Ideamart, UniverSL Software, Econsulate, Auxenta, Vinota, Rootcode Labs, Infor Nexus Services, Omobio සහ ප්‍රමුඛ පෙළේ  නිර්මාණාත්මක මෘදුකාංග සමාගම් මේ සඳහා සහභාගී විය.

 IIT පීඨාධිපති  නයෝමි ක්‍රිෂ්ණ රජා මහත්මිය නව IIT Careers Day උත්සවය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය. “සීමාවාසික පුහුණුව IIT හි සියලුම උපාධි පාඨමාලා වල උපාධි අපේක්ෂකයන් සඳහා ලබා දෙන විශේෂ අවස්ථාවක්. එමගින් වෘත්තීය පසුබිමක් තුළ වර්ධනය කරගන්නා ලද ප්‍රායෝගික අත්දැකීම් සහ කුසලතා ද පන්තිකාමරයේ දැනුමද උපයෝගී කර ගනිමින් සිසුන් රැකියා ලෝකය තුල සිය ජීවිතය ගොඩ නගා ගනී. තෝරා ගන්නා ලද ක්‍ෂේත්‍රයක් තුළ වෘත්තියක් කරගෙන යාමේ දී වෘත්තීය සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අමතර වාසියක් සීමාවාසික පුහුණුව මගින් හිමිවේ . COVID-19 වසංගතය මධ්‍යයේ, සමාගම් 50 කට අධික සංඛ්‍යාවක් IIT Careers Day සඳහා සහභාගී වීය. සීමාවාසික පුහුණුවීම් අවස්ථා සහ අන්තර්ගතය පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් එමගින් දිරිගැන්වීමක් ලැබිණි.  මීට අමතරව, මෙම සමාගම්වල සේවය කරන IIT හි ආදි ශිෂ්‍යයින් පැමිණ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීම මේ සඳහා තව තවත් වටිනා කම් එක් කළේය. සමස්තයක් වශයෙන් එය විශාල සාර්ථකත්වයක් ලබා ඇති අතර මෙම අවස්ථාව සාර්ථක කිරීමට ගත් සියලු උත්සාහයන් පිළිබඳව IIT ආයතනයටත්, සිසුන් සහ මෙය සැලසුම් කළ කණ්ඩායමට ස්තූතිවන්ත වන්නෙමි.”

මේ පිළිබඳව වැඩසටහනට සහභාගී වූ Pearson Lanka හි නියෝජිතවරයෙක් අදහස් දක්වමින්  “ලෝකයම වසංගතයකට මුහුණ දී සිටියද, IIT ආයතනය ඔවුන්ගේ සිසුන්ගේ දියුණුවට එය බලපාන්නට හෝ බාධාවක් වීමට ඉඩ නොතැබුවේය. ඒහිදී ඉතා ප්‍රශංසනීය අද්විතීය වෘත්තීය ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලද අතර එය විශ්වවිද්‍යාලය විසින්  සංවිධානය කිරීමේදී කිසිඳු අඩුපාඩුවක් දක්නට නොලැබුණු අතර ඒ පිළිබඳව අපගේ සුබ පැතුම් පිරිනමන්නෙමු.” යැයි පැවසිය.

Infor Nexus Services  හි නියෝජිතයෙක් ද මේ පිළිබඳව මෙසේ අදහස් දක්වමින් කියා සිටියේ. “බොහෝ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රට වසා දැමුණු කාල පරිච්චේදය තුල ක්‍රියාත්මක නොවුණි. නමුත් IIT ආයතනය තම ක්‍රියාකාරකම් ඉතාමත් සියුම්ව ක්‍රියාත්මක කිරීම සතුට ගෙන දෙන කාරණයක් වූ අතර රටේ මිනිස් බලය සහ අධ්‍යාපනය පිළිබඳව බලාපොරොත්තු ඇති කරමින් සිසුන්ගේ අනාගතය සහතික කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් Careers Day සංවිධානය කිරීමට හැකි විය. එහිදී බොහෝ සිසුන් සිය ප්‍රශ්න යොමු කරන ආකාරය දක්නට ලැබීම සතුටට කරුණක් වූ අතර ඉල්ලුමට සරිලන නව තාක්‍ෂණික ක්ෂේත්‍රයන් පිළිබඳව සිසුන්ට උනන්දුවක් ඇති බව දැන ගැනීමට එහිදී හැකි වීම තවත් භාග්‍යකි.

IIT  ආයතනය තොරතුරු, සන්නිවේදන තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ කීර්තිමත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන පළමු පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනය ලෙස 1990 දී ආරම්භ කරන ලදී. IIT යනු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයෙන් සහ එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයෙන් අභ්‍යන්තර පශ්චාත් උපාධි සහ උපාධි ලබා දෙන සම්මානලාභී විශ්ව විද්‍යාලයකි. ජාත්‍යන්තර වශයෙන්උපාධිධාරීන් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ  ශක්තිමත් කිරීම සඳහා IIT වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. 1990 දී ආරම්භ කළ දින සිට  IIT විසින් මේ දක්වා ලොව පුරා බොහෝ රටවල උපාධිධාරීන් 5,000 කට අධික සංඛ්‍යාවකට උපාධි පිරිනමා ඇත.

ඒ අනුව මෙම උපාධිධාරීන් දේශීය හා විදේශීය ආයතනික හා රජයේ ආයතනවල සාර්ථක ව්‍යවසායකයින් සහ තොරතුරු තාක්ෂණ / ව්‍යාපාර වෘත්තිකයන් බවට පත්ව ඇත. ඔවුන් බහුජාතික හා දේශීය ප්‍රමුඛ පෙළේ සමාගම් 250 කට අධික සංඛ්‍යාවක් සවිබල ගන්වමින් ප්‍රධාන උපායමාර්ගික තනතුරු දරමින් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර ඔවුන්ගේ ආයතන වල දියුණුවට විශාල දායකත්වයක් ලබා දී ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *