Latest News Sinhala

මහින්ද්‍රා ෆයිනෑන්ස් හා අයිඩියල් ෆයිනෑන්ස් එක්ව,‍් මහින්ද්‍රා වාහන සඳහා කොවිඩ් සහන පැකේජයක් පිරිනමයි

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ අරමුණින් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව මෙම සහන  පැකේජය හඳුන්වා දී තිබේ. මෙමගින් මහින්ද්‍රා KUV 100 මෝටර් රථය මෙන්ම, මහින්ද්‍රා මැක්සිමෝ හා මැක්සි කාණ්ඩයේ කුඩා වෙළෙඳ වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් හට සිය අභිලාශ මුදුන් පමුණුවා ගැනීමට පහසු අත්වැලක් සැපයේ.

මෙම සහන පැකේජය යටතේ, මහින්ද්‍රා KUV 100  මෝටර් රථය සඳහා පාරිභෝගිකයින් හට වටිනාකමින් 30% ක් පමණක් ගෙවා ඉතිරි 70% ක මුදල මාස 60 සිට මාස 72 ක කාලයක් දක්වා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් සලසා තිබේ. එමෙන්ම පාරිභෝගිකයින් මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, මෙම ක්‍රමය යටතේ වාහනය ලබා ගැනීමෙන් අනතුරුව මුල් මාස තුන සඳහා සහන වාරික හඳුන්වා දීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයකි. සහන පැකේජය යටතේ මිලදී ගත හැකි මහින්ද්‍රා කුඩා වෙළෙඳ වාහන අතරට, මහින්ද්‍රා මැක්සිමෝ HD ටයරයේ ප්‍රමාණය අඟල් 12, මහින්ද්‍රා මැක්සිමෝ VX ටයරයේ ප්‍රමාණය අඟල් 13, බොලෙරෝ මැක්සි ට්‍රක් ප්ලස්, බොලෙරෝ මැක්සි ට්‍රක් ප්ලස් (ඒසී සහිත) බොලෙරෝ මැක්සි ට්‍රක් ප්ලස් (Special Edition), බොලෙරෝ මැක්සි ට්‍රක් ප්ලස් හා මැක්සි ස්පෝර්ට් යන වාහන වර්ග අයත් වෙයි. කොවිඩ් සහන පැකේජය යටතේ මෙම වාහන සඳහා මුලින් 20% ක් පමණක් ගෙවා ඉතිරි 80 % මාසික වාරික 36, 48, 60 සහ 72 වශයෙන් ගෙවීමට පහසුකම් සලසා තිබේ. එමෙන්ම, කොවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ මුල් පෙළ කාර්ය භාරයක් ඉටු කරන වෛද්‍ය, හෙද හා මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්ය මණ්ඩලයට මෙන්ම ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හට සහන පැකේජය යටතේ මහින්ද්‍රා KUV 100 මෝටර් රථය මිලදී ගැනීමේදී විශේෂිත වට්ටම් ලබා දීමට ද කටයුතු සලසා තිබේ.

සහන පැකේජය යටතේ හිමිකර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙන, 1200cc ධාරිතාවයෙන් යුතු මහින්ද්‍රා KUV 100 මෝටර් රථය, මහින්ද්‍රා හා අයිඩියල් මෝටර්ස් ලංකා (පුද්) සමාගමේ හවුල්කාරිත්වය ඇතිව වැලිපැන්නේ පිහිටුවන ලද මහින්ද්‍රා නිෂ්පාදනාගාරයේදී නිෂ්පාදනය කරන ලදුව, මෑතක වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරුණු SUV කාණ්ඩයේ පළමු මෝටර් රථය මෙය වන අතර, ලීටර් 1.2/1198cc mFALCON පෙට්‍රල් එන්ජිම, උපරිම බලය 82bhp @ 5500 rpm සහ උපරිම ව්‍යාවර්ථය 115Nm @ 3500-3600 rpm ආදිය මෙහි ඇති අධි තාක්ෂණික විශේෂාංග වේ. මෙම මහින්ද්‍රා KUV 100 මෝටර් රථය හිමිකර ගැනීමට අයිඩියල් ෆයිනෑන්ස් වෙතින් කොවිඩ් සහන පැකේජය සමග පහසු ණය මුදලක් හඳුන්වා දීමට ද පියවර ගෙන තිබේ.

“කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග මුල්‍ය දුෂ්කරතා මතු වීම හේතුවෙන් වැඩි දෙනකුගේ වාහන මිලදී ගැනිමේ අපේක්ෂාවන් බිඳ වැටුණා. එවැනි පසුබිමක මෙවැනි සහන පැකේජයක් මගින්, පාරිභෝගිකයින්ගේ වාහන සිහිනය සැබෑවක් කර ගැනීමට මෙන්ම, ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන ශක්තියෙන් ඒවා සවිබල ගැන්වීමටත් හැකියාව සැලසෙනවා. අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ගනුදෙනුකරුවන්ට මූල්‍ය ස්ථාවරත්වය ලබා ගැනීමට උපරිම අවස්ථාවන් සලසමින් රටේ පුනර්ජීවනයට දායක වීමයි. මෙම කොවිඩ් සහන පැකේජය මගින් ව්‍යාපාරිකයින්ට ඔවුන් ලබන ලාභයෙන් වාරික ගෙවීමට දිරිමත් කෙරෙනවා. අයිඩියල් ෆයිනෑන්ස් වෙතින් වාහනයක් මිලදී ගැනීම ජීවිත කාලයටම සිදු කරන ආයෝජනයක් බව අපට විශ්වාසයෙන් සඳහන් කරන්න පුළුවන්. අපගේ ගනුදෙනුකරුවන්ට අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවක් සැලසීමටත් අපි සැමවිටම කැප වී සිටිනවා.” අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලින් වෙල්ගම මහතා සඳහන් කළේය.

රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග බොහෝ ව්‍යාපාරවලට සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වුණු අතර, නව ව්‍යාපාර ආරම්භ කිරීමට හා සිය ව්‍යාපාර සංවර්ධනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසගේ අපේක්ෂාවන්ද බිඳ වැටුණු අතර,  රට තුළ වැඩි පිරිසකගේ ආදායම් තත්ත්වයද පහත වැටිණි. මේ වන විට රට කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර, සිය ව්‍යාපාර නැවත ඇරඹීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව බලපොරොත්තු දල්වා සිටිති. මහින්ද්‍රා පාරිභෝගිකයින් හට ආරක්ෂිතව නිවෙස් වල රැඳී සිටින අතරතුර වාහනය තෝරා ගත හැකි පරිදි www.idealmotors.lk වෙබ් අඩවියට වාහන පිළිබඳ සියලු විස්තර ඇතුළත් කෙරේ. එලෙස තෝරා ගන්නා වාහනයේ ලිපිලේඛන සකස් කිරීම, පරීක්ෂා කිරීමේ ගමන් වාර ආදී සියල්ල සිදු කර වාහනය නිවසට ගෙනවිත් දීම දක්වා කාර්යක්ෂම ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අයිඩියල් ෆයිනෑන්ස් පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළ තුළ මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වකි. අයිඩියල් ෆයිනෑන්ස්, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඇරඹූයේ, සැහැල්ලු ට්‍රක්රථ සඳහා මුල්‍ය සේවා හඳුන්වා දෙමිනි. මේ වන විට අයිඩියල් ෆයිනෑන්ස් KUV 100 මෝටර් රථ සඳහාද මෙලෙස සිය මුල්‍ය සේවා සහය පාරිභෝගිකයින් හට ලබා දෙමින් පුද්ගලික වාහන අංශය දක්වාද මුල්‍ය කටයුතු ව්‍යාප්ත කර තිබේ. මුල්‍ය සේවා සම්බන්ධයෙන් විසි පස් වසරකට අධික අත්දැකීම් ඇති මහින්ද්‍රා ෆයිනෑන්ස්, ඉකුත් වසරේ අයිඩියල් ෆයිනෑන්ස් ආයතනය සමග ඒකාබද්ධ වීමෙන් සිය මුල්‍ය සේවා ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ පළමු පියවර ද තැබීය.  

Art & Illustration
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *