Latest News Sinhala

ළමා ආරක්ෂණයෙන් තොර ජාතික ආරක්ෂාවක් නොමැත

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ‘#දැන් ඇති’ දැවැන්ත ජාතික ව්‍යාපාරය අරඹයි. ඒ සඳහා මහජනයා  දැනුවත් කිරීමේ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත. මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින් පළ කරන මුල්ම Zoom මහා පුරවැසි සංවාදය, https://www.facebook.com/ stopchildcruelty ඔස්සේ 2020 ජූලි 25 වන දින රාත්‍රී 7 සිට සජිවීව පැවැත්වේ. එම සංවාදය සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ,‍් මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ, නීතිඥ අචල සෙනෙවිරත්න, ඇතුළුව තවත් විද්වතුන් මෙන්ම වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගි වීමට නියමිතය.

ස්වකීය අදහස් පළ කරමින් ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනිය, වෛද්‍ය තුෂ් වික්‍රමනයක මහත්මිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි අපරාධ ඇදහිය නොහැකි වේගයකින් ඉහළ යමින් පවතින අතර, ඒ සෑම සිදුවීමක්ම එකිනෙක අභිභවා යන  කම්පනය දනවන භයානක සිදුවීම්. පසුගිය සතිය ඇතුළත ළමයින් තිදෙනෙකු දරුණු ලෙස දූෂණය කර ඝාතනය කෙරුණු බවට වූ වාර්තා කිහිපයක්ම අපට අසන්නට ලැබුණා. බලන්ගොඩ ප්‍රදේශයේදී 17 හැවිරිදි දැරියක් ඒ වගේම පුත්තලම ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක් සහ මීගමුව ප්‍රදේශයේ මාස 16 ක් වයසැති සිඟිති දැරියක් බරපතල ලෙස ලිංගික අතවරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. රටේ වගකිවයුතු පුරවැසියන් වශයෙන් අප මෙම කරුණු පිළිබඳව බරපතල ලෙස විවාද කළ යුතු අතරම මෙවැනි සිද්ධීන්, ජාතික අර්බුදයක් ලෙස සලසා සාමූහිකව, සාර්ථක විසඳුම් සොයා ගත යුතුයි.”  

1991 වසරේ, ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියට (UNCRC) අත්සන් තැබීය. ඒ අනුව, 1998 අංක 50 දරණ පනත යටතේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) පිහිටුවා ගැනීම, ළමා ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් අත්කර ගත් ප්‍රධානතම පියවරයි.

ළමුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පොලීසිය, අධිකරණ පද්ධතිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැමිණිලි විමසීම් සම්බන්ධ ක්‍රියාවලිය බලාපොරොත්තු සුන් වූ අඩුපාඩුකම් සහිත දීර්ඝකාලීන වේදනාකාරී ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.

2017 අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ වසර දහයකට වඩා කල් ගත වූ ළමා අපයෝජන සිද්ධීන් 17,000 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී තිබිණි. මෙම අගය 2018 අවසන් වන විට 20,000 ඉක්මවා ගොස් ඇතැයි විශ්වාස කෙරේ. වින්දිතයින් හට විනිශ්චයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අමිහිරි මතකයන්වලින් පීඩාවට පත් වෙමින්, ඉතා අවාසනාවන්ත ජීවිත ගත කිරීමට සිදු ව තිබේ.

2018 ජනවාරි මස, ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ පස්වන හා හයවන වාර්තා පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ කමිටුවේ අවසන් නිරීක්ෂණ මගින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අලස ප්‍රතිපත්තිය බරපතල අවධානයට යොමු කෙරු‍ණේ රතු නිවේදනයක්ද නිකුත් කරමිනි.  

2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාස ගණනාවකින්,‍් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යාව ළමා අපයෝජන සිද්ධීන් 5242 ක් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 1642 ක් දක්වා ඉතාමත් වේගයෙන් ඉහළ ගොස් තිබේ. 1992 සිට ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ 6 ක් පවත්වා විධායක ජනාධිපතිවරුන් 7 දෙනෙකු සහ අගමැතිවරුන් 12 දෙනෙකු පත් කර ගෙන ඇතත්,‍ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් පිළිගත හැකි වර්ධනයක් දක්නට නොමැත.

ළමා ආරක්ෂාව සම්බන්ධව මහජන අවධානය යොමු කරමින් Zoom මගින් මෙම  සංවාදය 2020 ජූලි 25 දින රාත්‍රී 7 සිට පැවැත්වේ. Https://www.facebook.com/stopchildcruelty ඔස්සේ ෆේස්බුක් මගින් සාකච්ඡාව නැරඹිය හැකිය. විමසීම් සඳහා කරුණාකර [email protected] වෙත ලියන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *