Latest News Sinhala

IIT ආයතනය, අන්තර්ජාල සම්මන්ත්‍රණ මගින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් විභාග සඳහා සූදානම් කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්,  අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ.  

කොවිඩ්-19 වසංගතය නිසා සමාජ දුරස්ථකරණයට රට ගෙන ඒමත් සමග, මෙම වසරේ  අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන සිසුහු මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටිති. පාසල් හෝ ටියුෂන් පන්ති සඳහා සහභාගි වීමට ඉඩක් නොමැතිව සිසුන්ට නිවෙස්වලට කොටු වීමට සිදු වුණු අතර, ඔවුන්ගේ ඉගෙනුමට බාධා පමුණුවමින් පාසල් වාරය අතරමග ඇණ හිටිණි. ජාතියේ තරුණ පරපුර වෙත නිරතුරුවම සහය දැක්වීමට සූදානම් වගකිව යුතු ආයතනයක් ලෙසින් IIT ආයතනය, තොරතුරු තාක්ෂණ පාඨමාලා අඛණ්ඩව පවත්වමින් මෙම සිසුන් විභාග සඳහා සූදානම් කිරීමට පියවර ගෙන තිබේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ස්වකීය විශේෂඥභාවය ඉවහල් කර ගනිමින් IIT ආයතනය, තොරතුරු තාක්ෂණ විෂය අළලා අන්තර්ජාල සම්මන්ත්‍රණ මාලාවක් මෙලෙස ඉදිරිපත් කරයි.  

සාමාන්‍යයෙන්, සිය ගණනක් පාසල් එක් කරගනිමින් විශේෂයෙන්, රට පුරා දහස් ගණනක් වන සිසුන්ට පල ප්‍රයෝජන උදාකර දෙමින්, IIT ආයතනය වසර ගණනක් තිස්සේ සම්මන්ත්‍රණ මාලා පවත්වනු ලබයි. ඇඳිරි නීතිය නිසා පනවා ඇති වත්මන් සීමාවන් හේතුවෙන් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් ස්වකීය සිසුන් දැනුවත් කිරීමට සුදුසුම ක්‍රමවේදයක් IIT ආයතනය මගින් මෙලෙස සපයා ඇති අතර, එමගින් අවහිරයකින් තොරව අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකියාව පවතින අතර, තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ උත්සාහයේදී අවශ්‍යම ශක්තිය ඔවුනට සැපයේ. පැය 2 ක සම්මන්ත්‍රණ මගින් විෂය නිර්දේශයන්ට අදාළව, Internet of Things (IoT), Programming, Flowcharts හා අනෙකුත් මාතෘකා අවරණය කෙරෙයි.

IIT ආයතනයෙහි ඉහළම පළපුරුද්දක් ඇති අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකු විසින් එම සම්මන්ත්‍රණ මෙහෙයවනු ලබන අතර, සම්මන්ත්‍රණ දෙවර්ගයක් වෙයි. ඉන් පළමු වැන්න, යම් පාසලක සිය තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශ අවශ්‍යතා පදනම් කර ගනිමින් ඉදිරිපත් කර ඇති විෂය මාතෘකාවක් යටතේ දැනුවත් කිරීම සඳහා විශේෂයෙන්ම සකස් කර තිබේ. සාමාන්‍යයෙන්, මෙම වර්ගයේ සම්මන්ත්‍රණයක් වෙන්කර ගත් කාල වේලාවක් තුළ එක් පාසලකින් 100 ක පමණ සිසුන් පිරිසක් සහභාගි කර ගනිමින් පැවැත්වේ. දෙවැනි වර්ගය, තොරතුරු තාක්ෂණයට අදාළ මාතෘකා ගණනාවක් ආවරණය කරමින් පැවැත්වෙන පොදු සම්මන්ත්‍රණ වන අතර, දිවයින පුරා සෑම පාසලකම සිසු සිසුවියන්ට ඊට සහභාගි විය හැකිය. සෑම සම්මන්ත්‍රණයක් සඳහාම ආසන්න වශයෙන් 400 ක පමණ පිරිසක් සහභාගි වේ.

“ මේ කාලය මුළු රටටම අසීරු කාලයක් නිසා, හැකි කුමන හෝ අයුරකින් එකිනෙකාට සහය දැක්වීමට හැකි ක්‍රම පිළිබඳ සොයා ගැනීම වැදගත්. පාසල් වසා දැමීම කොවිඩ්-19 වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත් හොඳ පියවරක් වුවත්, ඒ හේතුවෙන් ඔවුන්ගේ ඉගෙනීමට බාධා පැමිණී තිබෙනවා. IIT ආයතනයට විදිහට අපි, මෙම දුෂ්කර අවස්ථාවේ අපගේ අත්දැකීම් හා දැනුම උපයෝගී කර ගනිමින්, අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අන්තර්ජාලය මගින් තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් උදව් කළ හැකි බව හඳුනාගත්තා. අපේම අධ්‍යයන මණ්ඩල සාමාජිකයකු වෙතින් තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුවත් වීමට, දිවයිනේ නන් දෙසින් එක්වන සිසු සිසුවියන් සමග, මේ දක්වා පැවැත්වූ සම්මන්ත්‍රණ ඉතාමත් සාර්ථකව ඇති බව සඳහන් කිරීමට සතුටුයි. මෙම සම්මන්ත්‍රණ අඛණ්ඩව පවත්වා, එළඹෙන විභාගවලට සිසුන්ට හොඳින් මුහුණ දීම සඳහා උදව් වීමට අපගේ උපරිමයෙන් කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”  IIT හි අධ්‍යක්ෂ, මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

“මෙම වසංගතය හමුවේ ඇති අභියෝග පරාජය කිරීම සඳහා බලධාරීන් විසින් දී ඇති උපදෙස් අකුරට පිළිපැදීම වැදගත් වෙනවා. අපි සියලු දෙනා නිවසේ රැඳී සිටීම, ඉහළම පුද්ගලික සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම හා සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම කළ යුතුයි. විනයගරුක වීම මගින් හා උපදෙස්වලට අනුගත වීම මගින්,  රටක් ලෙස අන් කවරදාටත් වඩා ශක්තිමත්ව හා එක්සත්ව මෙම වසංගතය පරාජය කර, සුපුරුදු ජීවන චර්යාවන්ට අනුගත වීමේ හැකියාව පවතින බව ස්ථිර වශයෙන් කිව හැකියි.”

හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. 1990 වසරේ එහි ආරම්භයේ පටන් මේ දක්වා 3000 කට අධික උපාධිධාරීන් පිරිසක් ඉන් බිහි කර තිබේ. මෙම උපාධිධාරීහු දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං ව්‍යවසායකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින් සාර්ථකව සිටිති. ඔවුහු දේශීය හා විදේශීය සමාගම් 250 කට අධික ප්‍රමාණයක, ප්‍රධාන තනතුරු දරමින්, එම සමාගම්වල දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරති.

IIT මගින් පවත්වන තොරතුරු තාක්ෂණ අන්තර්ජාල සම්මන්ත්‍රණ පිළිබඳව මෙන්ම, පාසල්වලට ඒ සඳහා යොමු විය හැකි ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා https://www.facebook.com/iitsl වෙබ් අඩවිය මගින් හෝ 0766 760 760 යන දුරකතන අංක විවෘතය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *