Latest News Sinhala

කිරි ගොවීන්ගෙන් අඛණ්ඩව කිරි මිලදී ගන්නා බවට පැල්වත්ත කිරි සහතික වෙයි

දේශිය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කෝවිඩ් 19 වෛරසය නිසා ඇතිවී  තිබෙන තත්වය හමුවේ වුවද,  කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ  දේශිය කිරි ගොවියාගේ ආර්ථිකය සවිමත්ව  පවත්වාගෙන යාමට උපකාරී වීම සඳහා මෙලෙස අඛණ්ඩව කිරි එකතු කිරීමට පැල්වත්ත සමාගම  කටයුතු කරමින් සිටියි.

දේශිය  කිරි සමාගමක් ලෙස පවතින තත්වය හමුවේ අඛණ්ඩවම කිරි නිෂ්පාදනය කිරීම  පිළිබඳව සිය සමාගමේ ප්‍රමුඛ  අවධානය මේ වනවිට යොමුව ඇති බව සීමාසහිත පැල්වත්ත කිරි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා පවසයි.  මේ සඳහා අඛණ්ඩවම කිරි එක්රැස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත් එම නිසා දේශිය කිරි ගොවියාගේ ජීවනෝපායට මෙම වසංගත රෝගී තත්වය මඟින් එල්ලවන බලපෑම අවම වන බවත් හෙතෙම සඳහන් කරයි. නිසි කළට නිසි ආකාරයට කිරි ගොවීන් වෙත ගෙවීම් කටයුතු සිදුකරමින් පවතින තත්වය හමුවේ කිරි ගොවියා සවිමත්ව තබාගැනීම සඳහා සිය සමාගම උපරිම දායකත්වය දක්වන බව  වික්‍රමනායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම කිරි මිලදී ගැනීම් වලදී පවතින සෞඛ්‍යමය අවධානම පිළිබඳව ද පැල්වත්ත කිරි සමාගම සිය දැඩි අවධානය යොමු කර ඇති අතර නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදිමින් එම කිරි එක්රැස් කිරීම  සිදුකරනු ලබයි. එමෙන්ම කිරි නිෂ්පාදන ක්‍රියාවලියේදී පවා දැඩි සනීපාරක්ෂක විධි විධාන අනුගමනය කිරීමට පැල්වත්ත සමාගම කටයුතු කරයි.

මෙම සමය තුළ කිරි සැපයුම් ජාල කළමණාකරණය පිළිබඳව අදහස් දැක්වූ පැල්වත්ත කිරී සමාගමේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (සැපයුම් ජාල සහ අලෙවි ) සුසන්ත මල්වත්ත මහතා සඳහන් කලේ  ලොව පුරා බොහෝ ප්‍රමුඛ කිරි නිෂ්පාදනය කරන රටවල් සහ සමාගම් පවතින තත්වය හමුවේ දැඩි තර්ජනයකට ලක්ව සිටියද, පැල්වත්ත සමාගම මනා සැලසුමකින් යුක්තව  පවතින තත්වය හමුවේ සැපයුම් ජාලය සහ නිෂ්පාදන ක්‍රියාවලිය කළමණාකරණය කර ඇති බවයි. මෙරට වේගයෙන් වර්ධනය වන දේශිය කිරි නිෂ්පාදකයෙකු වශයෙන් පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, ඊට සමගාමීව  උතුරු මැද, උතුරු නැගෙනහිර ආදී ප්‍රදේශ දක්වා පවා  විහිදුනු පුළුල් බෙදාහැරීම් ජාලයක් ද පවත්වාගෙන යන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය

දේශිය කිරි ගොවීන් සතුව ඇති සීමිත සම්පත් ප්‍රමාණය නිසා අමු කිරි එක්රැස් කිරීමේ ක්‍රියාවලිය  සීමාසහිත පැල්වත්ත කිරි සමාගමට තරමක් සංකීර්ණ වී තිබේ. මේ නිසා සමාගමේ අවශ්‍යතාවට සරිලන ආකාරයට ප්‍රමාණවත් අමුකිරි සපයා ගැනීම හමුවේ යම් ගැටළුවකට  මුහුණ පා සිටියද  පැල්වත්ත කිරි සමාගම එම ගැටළු  වලට සාර්ථකව මුහුණ දෙමින් ඌව, මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද, සහ වයඹ යන පළාත් වලින් අඛණ්ඩවම කිරි එකතු කිරීම සිදුකරගෙන යනු ලබයි. එම පළාත්වල එක් එක් ප්‍රදේශවල පිහිටුවා ඇති කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම මඟින් පවතින බොහෝ අර්බුද නිරාකරණය කර ගැනීමට සීමාසහිත පැල්වත්ත කිරි සමාගම සමත් වී තිබේ.

පැල්වත්ත කිරි සමාගම  ස්වාභාවික රස කාරක, අමුද්‍රව්‍ය සහ කිරිමේද යොදාගනිමින් ශීත කළ, මිදුනු සහ කිරිපිටි ආදී කිරි නිෂ්පාදන රැසක් නිපදවයි. පැල්වත්ත කිරි පිටි පැය 24කට අඩු කාලයක් තුළ නිෂ්පාදනය කෙරෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක අතර එම කිරිපිටි පැය 72 කට වඩා අඩු කාලයකින් වෙළඳ පළ වෙත ද යොමු කෙරෙන බවට පැල්වත්ත කිරි සමාගම සහතික වෙයි.

මෙම කාර්යක්ෂම ක්‍රියාවලිය සඳහා පැල්වත්ත කිරි සමාගම සතුව ඩෙන්මාර්ක තාක්ෂණය සහිත  නවීනතම  කිරි නිෂ්පාදනාගාරයක් පවතින අතර එමඟින් කිරි පිටි ( Full cream & Nonfat), විෂබීජහරණය කළ නැවුම් කිරි, බටර්, යෝගට්, යෝගට් බීම, මී කිරි, අයිස් ක්‍රිම්, ගිතෙල් ආදී නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කරයි. ISO 22000-2005 තත්ව සහතිකය හිමි  දිවයිනේ පළමු කිරි සැකසුම් කම්හල වන්නේ ද පැල්වත්ත කිරි සැකසුම් කම්හලයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *